Thursday, October 19, 2017

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා


අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විචි යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත. පේන ටික ඒ වාගේම පේන්නට හදන්නට මට ඒ කාලේත් සෑහෙන දුරට පුළුවන් නමුත් නොපෙනෙන ටික හදන එක නම් බැරෑරුම් කාර්යයක් වෙයි. ඉතින්, සපත්තු පෙට්ටියේ පැස්ටල් පාට අතුරා අරක්කු මූඩි අලවා හදා තිබුණ රේඩියෝවට මොන ජංජාලය කලත් සිංදු කියවන්නට නම් නොහැකි විය.

සංගීතය සම්බන්ධයෙන් මගේ බොහෝ අත්දැකීම් ඔය අහලින් යන ඒවා වෙයි. හතරේ පහේ ඉන්නා කාලයේ, වෙන්නප්පුව පල්ලියේ මංගල්ලයක් දවසක දී, පාරෙන් එහා පැත්තේ මඩමේ තාප්පය අයිනේ හරස් අතට අල්ලා පිඹින බටනලා ගොඩක් ලඟ වෙලෙන්දෙක් හිංදිදෝ මංදා ඉතාම මියුරු වාදනයක් වයමින් සිටියේය. අනික් මිනිසුන් ළමයින් වාගේම මේ සංගීතයට තුෂ්නිම්භූත වී සවන්දුන් අයියාත් මමත්, අතේ තිබුණු මුදල් එකතු කරලා බටනලා දෙකක් මිලදී ගතිමු. කෙලින් අල්ලා පිඹින, කට තියන කෙලවරේ ඉපියාවක් රැඳවූ බටනලාව, නිකම්ම පිම්ඹත් හඬක් උපදවන නමුත්, හරස් අතට අල්ලාගෙන පිඹින, මේ හිල් විදපු බට කෑල්ලට කොච්චර පිම්ඹත් නැගුනේ සූස් සූස් ගාන හුළං සද්දය විතරම ය. ඒ වුනත් අර වෙලෙන්දා මේ වාගේම බට කෑල්ලකින් නැගූ අච්චර සංගීත ස්වර හිතේ තිබුණු අපට මේක ඉගෙන ගන්නා එක අත අරින්නට හිතුණේ ද නැත. ගිනිපෙට්ටියක් නැති වෙලාවක, නිවිච්චි අඟුරු කැටයකට පිඹලා පිඹලා පිඹලා ගිනි දල්ලක් නග්ගා ගන්නවා වගේ මේ හිල් බට ලීයෙන් යාන්තං සංගීත ස්වරයක් මතුකරගන්නට මට පුළුවන් වුනේ ඒ සති අන්තයම ආච්චිලාගේ ගෙදර සාලයේ පුටුවක් උඩට වී, පිඹලා පිඹලා පිඹලා ය. එදා ඒ දවස, ඒ මොහොත නං, අපේ අයියාව පරද්දා යමක් කල දවසක් හැටියට තාමත් මතකයේ තිබේ.

සද්ද කිරීම එකකි. සංගීතය තව එකකි. සංයමයකින් සද්ද කිරීම කියා හිතෙන්නට පුළුවන් නමුත්, සංගීතය කියන්නේ නලාවකුත් සංයමයකුත් විතරක්ම තිබුණාට කරන්නට පුළුවන් දෙයක් නොවේ. අර ඩී. අයි. පෙට්ටි රේඩියෝව වාගේම ඒකට තවත් පරිපථ කීපයක්ම හරියට සකස්වී ඇවිණිී තිබිය යුතුය. කෙසේ වෙතත්, බටනලාව පිඹීමත්, එහා මෙහා වී, චප්ප වී තැලී වාගේම රණ්ඩු දබර වලදී පාවිච්චියට අරගෙන පැලී කැඩී ගියත්, අවස්ථාවක් ලැබුණාම අර වාගේ පල්ලි මංගල්ල වලදී, හරහට පිඹින බටනලාවක් මිලදී ගන්නා එකත් කොහොමටත් එයින් පස්සේ මගේ සෙල්ලමක් වී තිබුණි. මේ නලා වාදනයට ඉස්සර නං මගේ සංගීත භාණ්ඩය වුනේ ඩොලැක්කියයි. මං හිතන්නේ අපේ ගෙදර අය මං ඩොලැක්කිය ගහනවාට වඩා බටනලාව පිඹින එකට මනාප වන්නටත් ඇත.

බටනලා පිඹීමේ හැකියාව පුරුදු පුහුණු කරගැනීමේ වැදගත්ම ප්‍රයෝජනය වූයේ නවසිය හැට අටේ විතර අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් තූර්ය වාදක කණ්ඩායම් හැදූ කාලයේ දීයි. අපේ ඉස්කෝලේ සංගීත සර් වූයේ භාත්ඛණ්ඩේ ගිය සිතාර් වාදකයකු වූ ජස්ටින් සිල්වා සර් ය. කවුරු කොහොම තීරණය කලාද දන්නේ නැතත්, මුලින්ම සිදුවූයේ තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ මිලදී ගෙන ඒමයි. ඒවා අතර පිත්තලෙන් සාදා ක්‍රෝම් ආලේප කල බටනලා අඩුම ගණනේ දහයක් විතර තිබුණි. මේවා ඇඟිලි තියා හිල් වැසිය යුතු හරස් අතට හිලට කට තියා පිඹින පෙරදිග ඒවා මිස, ඔබන්නට බොත්තම් ඇති අපරදිග ඒවා නොවේ. අර මං පිඹ පිඹා හිටි එක ජාතියේම මුත් බටය පිත්තලය.

භාණ්ඩ ගෙනවිත් වාදකයින් තේරීම පටන් ගත්තේ බටනලා පිඹින්නට පුළුවන් අය තේරීමෙනි. අපේ මුළු පන්තියෙන්ම ස්වර සද්ද වෙන්නට මේ බම්බුව පිඹින්නට පුළුවන් වුනේ එක් කෙනාටය. ඉතින් අපේ පංතියේ ප්‍රථම තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයා වූයේ මමයි. ආරම්භය බට නලා වාදනයෙන් වුනත්, අර පිත්තල බම්බුව හරස් අතට උස්සාගෙන පිඹින ගමන් සරඹ කරන වැඩේ කාටවත් හරිහමන් විදිහට කරගන්නට බැරිබව ඉතා ඉක්මනින්ම පැහැදිලි විය. තූර්ය වාදක කණ්ඩායමේ බටනලා කාරයින් සියලු දෙනාටම බටහිර වාදන භාණ්ඩයක් වූ මෙලෝඩිකා ආදේශ විය. ඒකේ පිඹීම විතරය. ස්වර අල්ලන්නේ පියානෝ ආකාර යතුරු පුවරුවක යතුරු ඔබාලාය. වැඩේ ලේසිය. පුරුදු පුහුණු වී වාදනය කරන්නට සිද්ධ වුනේ සිංදු තුනකි. ජාතික ගීය, වැඩ හුරුවීමේ ගීය හා සැමදන මන දිනු සියවස් ගීතයයි. හොඳ වෙලාවට ඊරියගොල්ල මහත්තයා ඒ දෙකට අමතරව වෙන සිංදු ලිව්වේ නැත. සියවස එකසිය එක දෙක වෙන කාලය වෙද්දී, තූර්ය වාදක කණ්ඩායම් ද හීන් සීරුවේ අභාවයට ගියේය. ඒ අතරතුර ඩඩ්ලි සේනානායක පිළිගැනීමේ උත්සවයකට ඇරෙන්නට වෙන වැදගත් දේකට තූර්යවාදනයක් සඳහා සහභාගි වුනා මතකයක් නැත. අර සිංදු තුනට අමතරව හරියටම සංගීත භාණ්ඩ වාදනය කල හැකි අය ඉස්කෝලේ කටයුතු වලදී අර භාණ්ඩ වාදනය කලත්, යුනිෆෝම් ඇඳලා කල්බලමින් මෙලෝඩිකා පිඹීමේ වැඩේ එතනින් අවසාන විය.




මගේ බටනලා පිඹීමේ ඉතිහාස කතාවේ දෙවන අදියර ඇරඹෙන්නේ නවසිය හැත්තෑ එක දෙක හරියේ දීයි. ඔය කාලයේ දී මෙලෝඩිකා එක නිසා බටනලාවෙන් දුරස් වී සිටි මට බටනලාවක් හදන්නට කල්පනාවක් ආයේය. වැඩියම මේකට හේතුවුනේ ඒ කාලයේ හා හපුරා කියා වෙළඳ පලට ආපු ප්ලැටිග්නම් පාට කූරුය. මයියොක්කා බඩයක් වැනි තුඩක් සවිකල ප්ලාස්ටික් බටයක් වූ මේවායේ ඇතුලේ ඇත්තේ මොනවාද යන සාධාරණ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ප්‍රධානම කාරණයක් විය. අනෙක් කෙලවරේ ඇති සුදු ප්ලාස්ටික් පියන පරිස්සමින් අයින් කලාම, ඇතුලේ ඇති පොලිතීන් බටයක පුළුන් පුරවා තිීන්ත පොඟවා සාදා ඇති තීන්ත බටය අහකට ගන්නට පුළුවන් බව දැන ගැනීමට වැඩිකල් ගියේ නැත්තේ, මේ මුල් පාට කූරු වියලී නොලියවී යෑමේ ලෙඩක් ද තිබූ නිසාය.
දම්පාට ප්ලැටිග්නම් කූරක ප්ලාස්ටික් බටයක ලිපේ දමා රත්කර ගත් කම්බි ඇණයකින් සිදුරු හදා සෑදූ මගේ මුල්ම බටනලාවේ ස්වර හිල් තිබුණේ තුනකි. හිල් තුනේ නළාවේ, හරියටම ස්වරම නොවූ හඬවල් හයක් විතර ගන්නට පුළුවන් නිසා, ටිකක් වැර වෑයම් කර බෙග් ගේ "ඔය හද පතාල ආමී" හෝ එහෙම නැත්නම් මිල්ටන් ගේ "දෙව් දුව පලා ගියා දෝ" සිංදුවල මුල් හරිය වගේ මට ඇහෙන තාලයක් නගා ගන්නට පුළුවන් විය. දවස් දෙක තුනකට පස්සේ දවසක කොළඹ ගිය අපේ තාත්තා, බොම්බේ හාර්මෝනියම් එකෙන් මට 'C' ෆ්ලූට් එකක් ගෙනැවිත් දුන්නේ ය. අර කොට ප්ලැටිග්නම් බටයේ උච්ච ස්වර ඉහලටම ඇසී තිබුණි.

අපේ ගෙදර කවුරුවත් සංගීත කාරයෝ නුවූහ. ඒ නිසාවෙන්ම තමුන්ට බැරි දේ පුළුවන් උන් ගැන යම් ඇගැයීමක් ගෞරවයක් තිබුණා විය යුතුය. එසේත් නැත්නම් අර ප්ලැටිග්නම් කූරේ කාන්හාර් නාද රටාව අහලා අහලාම ඇතිවෙලා තිබුණා වන්නටත් පුළුවන. ගෙදර කවුරුවත් මට පිඹින්නයැයි ඇවටිලි කරනවා මතක නැති වුනත්, ඉඩක් ලැබෙන හැම වේලාවේම පාහේ බට නලාව 'අත්හදා' බැලීම මගේ සිරිතක් බවට පත්වුනේය. අපේ රටේ හැම දේම වගේම මගේ සංගීත ජීවිතයත් හැඩ ගැහුනේ වෙනස් වුනේ දේශපාලනික හේතු සාධක මත බව මෙතෙක් කියවූ දේවලින් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මේ පසුව ලියවෙන දේවලටත් ශ්‍රී ලාංකික දේශපාලනය සියයට සියයක්ම පාහේ දායක වී තිබේ. මේ ප්ලැටිග්නම් කූරෙන් වස්දඬු නලාවට පරිවර්තනය වූ යුගය වනාහී, ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව නිල කාලය වූ පුරා පස් අවුරුද්දක් රට පාලනය කර හැත්තෑවේ ජන රැල්ලට හසුවී ගසා ගෙන ගිය යුගයයි. මෙවැනි පරිවර්තනයකින් පසු අපේ ගම් පලාත්වල සියලු කටයුවලත් පාට මාරු වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ කොළ නිල් මාරු කිරිල්ල හොඳින්ම එළිපිටම වෙන්නාවූ ස්ථාන දෙකක් තිබේ. එකක් පොලිසියය. අනික් එක පාසැලය. අපේ ඉස්කෝලේ සිද්ධවූ මාරු වීම් අතර එක් මාරුවක් වූයේ සංගීත සර් වූ ජස්ටින් සිල්වාගේ තැනට කුවින්ටස් ජයකොඩි සර් පත්වී ඒමයි.

මට යාන්තම් මතක හැටියට නුවර පැත්තේ පාසලක සිට පැමිණි ජයකොඩි සර්, සිය යාව ජීව ගෝල බාලයන් හතර පස් දෙනෙකුද ඒ සමගම රැගෙන ආයේය. ඒ හැමෝම උත්පත්තියෙන්ම සංගීත කාරයෝ වූහ. ජන්ම ලාභයෙන්ම සංගීතය අතේ කණේ පලඳාගෙන පැමිණි උන් අපේ පන්තිවලද නොහිටියා නොවන මුත්, ඒ වනතුරු සංගීතය විෂයයක් ලෙස හදාරා සංගීත කාරයින් වෙන්නට හිතූ පැතූ අය අපේ පාසලේ, මා දන්නා තරමින් නම් හිටියේ නැත.  ගායනා නාට්‍ය වැනි දේ එයිට කලින් අපේ ඉස්කෝලේත් අඩු නැතුව කෙරුනා මුත්, අළුත් විදුහල්පති වූත් සාහිත්‍යකාරයකු කලාකාරයකු  වූත් පැන්ටලියන් සර්ගේත් ජයකොඩි සර්ගේත් සංයෝගය සංගීත හා කලා කටයුතු වල අළුත් පුනරුදයක් ඇතිකල බව නම් නොරහසකි. ඇත්තෙන්ම ජයකොඩි සර්ගේත් ඒ කිට්ටුවම වාගේ පැමිණි නැටුම් සර්ගේත් ආගමනය කල්යල් බලා පිඹුරුපත් සාදා කෙරුණු වෙනස්කම් විය යුතුය. ඒ බොහෝ දේ පසුපස, සිටි බලවේගය විදුහල්පති වූ පැන්ටලියන් සර්ම වියයුතුය.

සංගීතයට කෙසේ වෙතත්, බටනලාව පිඹින්නට හැකියාව තිබීමේ හේතුව නිසා, ජයකොඩි සර් හැදූ සංධවනි කණ්ඩායම නොහොත් ඕකෙස්ට්රා එකේ සෙල්ලම් කල බටනලා කාරයින් තුන්දෙනාගෙන් එකකු වීමේ වාසනාව මට ද උදාවිය. ලියන්න උත්සාහ කරමින් වටේ ගිය කතන්දරය පටන් ගන්නේ එතැනිනි. ලියාදුන් ස්වර ටික තාල් නොවරද්දා පිඹීමේ විස්මිතය පුරුදු පුහුණු වීමෙන්ම ප්‍රගුණ කරගන්නට පුළුවන් වූ නිසාවෙන්, ෆ්ලූට් කෑල්ලකින් ආරම්භ වූ මේ සංධවනිය, මණ්ඩලයෙන්, දිස්ත්‍රික්කයෙන් මුල්තැන දිනා වයඹ පලාත් තරඟය දක්වාම දුර දිග ගිය අතර, කුරුණෑගල මලිය දේවයේ තිබුණු පලාත් තරඟය දවසේ, ජයකොඩි සර්ගේ යාළුමිත්‍රකමට භාණ්ඩ සුසර කරලා කණ්ඩායමට උපදෙස් උපදේශන දෙන්නට ආ කපුගේ එක්ක කතා බහ කරන්නට (අහගන ඉන්න එකත් ඉතින් කතා කිරීමක්ම තමයි නේ ද?) ලැබුණ වාසනාවත් ගෙනායේය.

නම ගම කොහොම වුණත් නැටුං සර් කියා අප හැඳින්වූ නැටුං සර් මේ හැම දේකදිම සයිඩි සපෝට් කාරයකු වූ අතර, සංගීතයත් නැටුමුත් දෙකම කරන කොල්ලනුත් සිටි නිසාත්, නැටුම් වලට බෙර වැයුමත් සංගීතයක්ම වූ නිසාත් ජයකොඩි සර් ඉන්නා තැනක නැටුං සර්රුත් ඉන්නා එක සාමාන්‍ය සිරිත වී තිබුණි. දිස්ත්‍රික්ක නැටුම් තරඟ වලට පුරුදු පුහුණු කල පාරු කවි කණ්ඩායමේ රැඟුමට සංගීතයකුත් එකතු කරන්නට නැටුං සර්ට හිතෙන්න ඇත්තේ මේ සංධවනි වැඩ නැගලා ගිය නිසා වන්නට පුළුවනි.

ඒකට මුලින්ම අල්ලාගෙන තිබුණේ හත්මුතු පරම්පරාවක්ම සංගීත කාරයින් වූත්, ස්කෝල පිට්ටනියේ සංගීත සංදර්ශන යේ පැට්රික් දෙණිපිටිය ඇතුළු සියැක් වාදක කණ්ඩායමේ වාදන වල වුණත් අවුට් යන තැන් ෆ්ලැට් යන තැන් කියා පෙන්නනට තරම් තියුණු කර්ණක්කාරයකු වූත් වයලින් එක දිහා ඈත ඉඳලා බලලා මියුසික් ගහන්නට පුළුවන් ලූෂන් ය. බෙරයත් වයලීනයත් ඕනෑ පදම් ඇති වුනත්, නැටුං සර්ට මේ රංගනයට ෆ්ලූට් කාරයකුත් ඕනෑම වූ හින් දා, හලාවත තරඟයට දවස් තුන හතරක් තියලා ජයකොඩි සර්, 'මෙන්න මේ ආන්ජලෝව අරන් යන්න' යි නැටුං සර්ට කීය.

ස්වර නැතුව පිඹින්න බෑ, තාල් අහුවෙන වා හොරයි ආදී නොයෙකුත් කතා කියලා පින්සෙන්ඩු වුනත් ජයකොඩි සර්ගේ රෙකමදාරුව හින්දා 'මේක ගහන්ඩ ඕයි මහ කජ්ජක් ද? පිඹිනවා පිඹිනවා...' කියා කොචොක් කෙරුවා මිස, ඒ තැනක එක සීරුවට ඉඳලා මගේ නලා පිඹිල්ලේ ගුණා ගුන බලන්නට නං නැටුං සර්ට ඉස්පාසුවක් තිබුණේ නැත. නැටුම පුරුදු වෙන වෙලාවල නටන උන්ගේ කකුල් එහා මෙහා වෙන එකත්, බෙරය ගැහිල්ලේ සිහියත් මිස, ලූෂන්ගේ වයලින් සද්දය අනුකරණය කරන්නට මා ගත් අසාර්ථක උත්සාහය ගැන සර්ගේ ඇහැ කණ යොමුවුනේ නැත. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් ස්වරයක් දෙකක් අල්ලලා ලූෂන්ට සප් එකක් දීලා වැඩේ ෂේප් වෙන ගතියක් තිබුණු හින් දා මගේ දාඩිය දැමිල්ලත් යං තරමකට පදං වී ගියේය.

නැටුම පාරු කවි කිය කියා කොල්ලන් පේලි දෙකක් පාරු පදින දර්ශනයකි.

ඔයින් මෙයින්, දිස්ත්‍රික් තරඟයට ගිහින් හලාවත පල්ලිය ලඟ ඉස්කෝලේ පන්ති කාමරයක නටන කට්ටිය ඇඳුන් අඳින වෙලේ නැටුං සර්ට හදිස්සියේම මියුසික් කාරයින්ටත් පාරු කාරයින්ගේ ඇඳුං අන්දලා වේදිකාවට නැග්ගවීමේ මහා භයානක අදහස ආයේ ය. මිනිහා කිව්දේ කරන, කරපු දේ කියන හිතේ කහටක් නැතුව තොලකට තෙමාගන්නා අහිංසකයකු වූ හින්දා, මගේ පිංසෙංඩු වීම ගණන් ගත්තේ නැත. ඉතින් සරොං කොට ඇඳලා ඉන වටේ ලේන්සු බැඳලා, ඔළුවට තලප්පාවලුත් බැඳගෙන ස්ටේජ් එකේ පාරු කාරයින් එක්කම පාරුවේ වැනෙන්නට වීම ලූෂන්ට කෙසේ වෙතත්, මට නං සිද්ධ වීම පාරුවේ පුවක් කියාම මිස වෙන විදිහකින් හැඳින්විය හැකි නොවේ. කි

ඒකත් මගේ නොව නැටුං සර්ගේ ය.

ඒ කියූ කවි වලින් මතක හිටියේ පද දෙකකි....

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා
කන්දර ඇලේ ලිර දායේ මිරිකුණියා.....


නටන උන් හරියටම නැටූ අතර ලූෂනුත් හරියටම වයලින් එක ගැහුවත්, අයිටම් එක ඉවරවෙලා ඔළුව නවාගන ස්ටේජ් එකෙන් බහිද් දී, "මොනාද ඕයි අර පිම්ඹේ...?" කියා ඇසූ නැටුං සර්ට, "මං කිව්වනේ සර් මට මියුසික් බෑ කියලා" කියා කියන්නට තරමට නං මට සිහිය තිබුණි.

නැටුං තරඟ කට්ටිය දිස්ත්‍රික්කයෙන් එහාට ගියේ නැත.






Continue Reading...

Tuesday, October 17, 2017

පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම

ගේබ්‍රියල් ගේත් මගේත් යාළුකම පටන් ගත්තේ නවවැනි පංතියේ දී විතර විය යුතුය. මා පොට්ටයා වූ අතර ගෙබ්බා උතුර බලන්නට දකුණට ඔළුව හරවන වපරයෙකි. පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම සඳහන් කර කියවෙන ඇනුම් පද වලට ගෙබ්බාගේ මුහුණට නැගෙන්නේ අසරණ හිනාවකි. ඒ හිනාව එදා අපි දෙන්නාටම පොදු වූයේයි දැන් මට හිතේ.

ගෙබ්බාගේ තාත්තා දැල් පන්න කාරයෙකි. වැල්ලේ මාළු ලෑල්ලේ රේන්දය කලේ ලොකු අයියාය. දෙවෙනි අයියා මහ විසාල ඇල්බීසියා කඳන් පොරෝ තලයෙන් ලෑටි ගා තෙප්පං කැපුවේය....

වැල්ලේ ගෙබ්බලා ගේ ගෙදර පොල් ගහක් යට වාඩිවී ඉස්සර වාගේ කතා කර කර ඉන්නට ආසාව තිබුණත්, ගේ තිබුණු ඉසව්ව පුරාම ගෙවල් යායක් වෙලාය. මූදත් ගෙවල් මණ්ඩියත් අතර අඩි සීයක් දෙසීයක් තිබුණු තඹ පාට වැලිතලාව වෙනුවට දෙන්නෙකුට අත් අල්ලාගන යන්න ට පුළුවන් වැලි තීරුවක් ඉතිරි වී තිබේ. 

රැල්ල බිඳෙන්නේ එහෙන් මෙහෙන් ගෙනත් පරිස්සමට අඩුක්කල කළුගල් කොන්ක්‍රීට් ඇතිරිල්ලක් තෙමාගෙනය. සුනාමිය අරන් ඇවිත් මුරණ්ඩු වූ මූදට දැන් හැමදාම ඒ ගල්වල ඔළුව ගහ ගන්නට සිද්ධ වී තිබේ.

මූදට බය නැති ගෙබ්බලාගේ පරපුරේ මිනිස්සු, ඇල්බීසියා කොට අතහැර දමා දැන් ෆයිබර් ග්ලාස් තෙප්පං වල මූදු යති. හුලං බදන රුවල වෙනුවට පැට්රල් පුච්චන අවුට් බෝඩ් මෝටර උන්ගේ ජීවිත වලට හුළං පිඹියි. ලුණට කර වී අපාට වූ කොහු ලණුවලින් එකට පිරිද්දූ ඇල්බීසියා ලී තෙප්පම මෙන් නොව ෆයිබර් තෙප්පම වර්ණවත්ය... පැස්ටල් පාටය... ලස්සණය....

මේ තෙප්පම ෆයිබර් ද?
- ඔව් දැන් ලී තෙප්පං කොහෙවත් නෑ...

ඇතුල හිස්...?
- ඔව් බීම් ගහල තියෙන්නෙ....

මං හිතුව දැන් බෝට්ටු විතරයි කියල...
- නෑ, වළාලෙ කාලෙට මේක තමයි හොඳම....!

-අද රෑට මුදු යන්න දැල් එකලස් කරන නලින්-

December 15, 2015




Continue Reading...

Tuesday, October 10, 2017

පිණි බිංදු අවුණන සුරඟන



කඳුළු කඳු මුදුනත
දැවටෙන සිහින හිම මත
සුළැඟිලි අගින් මම
ලියන්නෙමි ඔබේ නම

අහස් ගඟ ඉවුර මල් මත
හෙමින් පා තබ තබා ඇවිදින
සිහින් විල්ලූද තටුවල
පිණි බිංදු අවුණන සුරඟන

පුංචි පොඩි තරු කැට
ඔය මුදු පා පොඩිති යට
කිති කැවී හිනාවෙන හඬ
ඇහෙනවා ඇහෙනවා මට

ලපැටි සමනල් තටුවක
පාට කුඩු ඇඟිලි තුඩගට
අරගෙන හෙමින් පිඹ
එවනවද කියා සුළඟට

නිසංසල සිහින අරගෙන
මද අඳුරු දම්පාට අහසක
පියවෙන නෙතු පියන් යට
රැඳවෙන්න එක රැයකට

Continue Reading...

Sunday, October 8, 2017

පහන් සිලක් ලඟ සුලං රලක්


පහන් සිලක් ලඟ සුලං රලක් නැවතී
ගිමන් නිවන්නට නවාතැනක් අයදී...
අැඟිලි අගිස්සක පිණි බිඳුවක් තැවරී
කපොල් තලාවක නෙළුම් මලක් පිබිදී...

විලක් නොවේ නම් ගඟක් වෙලා අවුදින්
ගලා නොයන්නම් ලඟටම වී ඉන්නම්
ඉරත් මලානික හැන්දෑවක රහසින්
හීන් හිනාවක පිපී සුවඳ වෙන්නම්

පියෙන් පියවරට හැරී බලා යා නම්
හෙටත් අද වගේ මෙතැනම හමු වෙන්නම්
අදක් හෙටක් නැති තනි දවසක් වේ නම්
උදාසනක් මිස රැයක් නොවී ඉන්නම්

ඔක්තෝම්බර 8, 2015
[පින්තූරය - Dan Shalloe, Red Bubble]




Continue Reading...

Sunday, September 3, 2017

මුහුදට වැටුනු මල්...


ජීවිතය ඇරඹෙන තැන රහසක්, විශ්මයාර්ථයක් වුව ද, ජීවිතය අවසන් වන්නේ අපට දැනෙන පෙනෙන අයුරින්ම ය. ඇරඹුම කෙසේ වුවත් අවසානය නියතය.

කොළඹ විශ්ව විද්‍යාලයේ දී මුණ ගැසුණු, සහෝදරත්වයෙන් බැඳුණු, තවත් කෙනෙක් යන්නට ගියේ ය.

මල් පැසක තැන්පත්ව මේ මුහුදට පහත් වන්නේ පාලිත අබේවර්ධන ගේ භෂ්මාවශේෂය. ඒ මොහොතේ එතැන සිටි ගුණපාල ලියා ඇති අයුරින්, දිය මත පාවෙන මල් පෙති ඉතිරිකර පාලිතගේ සිරුර සයුරට මුසුව ගියේය.

පාලිත ගැන අවුරුදු කීපයකට කලින් කොළඹ 75 ජාල අඩවියට මා ලියූ සටහනක් පහත ඇවිණෙයි. ලියා ඇති ඉංග්‍රීසියේ වැරදිත්, සිංහලට පෙරලන්නට නොහැකි වීම ගැනත් කමන්න.

දෙදාස් දහය අවුරුද්ද ලබද්දීම වාගේ සිද්ධ වූ අයියාගේ මලගමට පැමිණි ඉස්කෝල පංති යාළුවන් පිරිස අතර සිටි එකෙක්,

"මචං පිත්තා ගියා නං ඉතින් අපේ ටර්න් තමයි ඊලඟට..."

කියා සිනාසුණු මොහොත ආයෙ ආයෙත් සිහිපත් වෙයි.

ජීවිතය කියන්නේ මැද කොටස ය.

Ransirimal's Babblings 2

Most of us came to lectures and went to our homes or boarding places  on our own, in those early days. Those of us who were not from Colombo, and these there were many because of 'distric basis' selection process, felt some sort of an emptyness and at the same time a frightning feeling of freedom. There was a difference between us and those who came to campus from 'home'.
Soon after first classes, as I remember a week or two later, we are to write the 'English Test'. This is a test to check our abilities in manhandling this elite language and to lump us and brand us into groups who are well endowed and not so well developed. Nobody worried about the exam, since we all knew that it will not change anything in the academic front. However a new fear loomed in the horizon, with the news that 'art faculty seniors' are planning to rag us on this day.
For most of the first few weeks, we were told to avoid the arts faculty side. That is not to go beyond the main building. Much of the time the student union, 'present' and 'future', were making sure that none of the science fresha's were subjected to 'high intensity' ragging that was prevalent (as we were told) in the arts side. All this is going to change on the english exam day and there was a scare that spread among all. Stories were told by freshers and seniors alike, about what happend to this guy and that guy on this year and that year. A movement was born, mainly consisting of boys from colombo schools, ananda and nalanda as I remember, to do something about this.
They had a leader, who one afternoon walked bravely to the deans office to lodge a complaint and seek help from the faculty. A skinny fellow with a skinny looking beard and sharp eyes with gentle manners but a strong determination. His name was Palitha, Palitha Abeywardena.
I vividly remember the group walking to deans office and watching all this from the side lines. We got the assurance that it would be a group rag and no individual rags will be tolerated.
Well, the english test was just a test. If I am recalling right, there was no single word in english for us to write. Sure there were passages in english that we have to read and comprehend. Then there were questions we had to answer in Sinhala. There were some multiple choice questions where we have to select the most correct answer. Towards the end of the exam, which was held in King George hall, arts seniors were walking along the corridors. Hootings and shoutings scared the girls to tears.
I remember watching the faces of my friends sitting around me trying to empty my mind of all feelings. There was no path to escape but to get out and face the thing.
Face we did. Today it may not look much of a thing at all. Swimming in the grassy lawn with mud and blue ink being sprayed on us, and the merry-go-round (spinning around with your right hand thumb to your mouth and the pinky to your belly button) plus several push ups and other stuff as I remember. Palitha of course was wearing a 'mal maala' made out of some vines and was getting the 'royal treatment' in the very front of the group. He did very well and stood up to it showing the qualities of a brave leader.
I got cornered by few fellows. Much later I got to know that they cornered me because few old boys from my school wanted to make sure that I went through the ritual at an appropriate level.
Remember the face of Prof. Samaranayake watching the whole incident and putting an end to the show once it seem to be getting beyond permissable or tolerable level.
We all escorted Palitha to our side, Thurstan road side. Vaguely remember him getting into a car near Salgaha. A yellow Volkswagen? That is the picture that seeps into my mind. Some one carried his shoes for him, I remember. Then we, Jerome and me, got into the first bus that came along and ended up in Town Hall.
We went to Bake House. Had some short eats and tea. I got into a 120 to go home, to my uncle's place. Somewhere close to Pamankada, some one wishpered into my ear that my shirt is soiled. I peeked over my shoulder and saw blue ink patches across the back.
"Mee theentha vagayak halila"
I answered and turned around.
"Ado, umbalawa anduna ganna thamiyi api theenth gahala mark keruwe..." Well we became friends and often met in the bus. Sadly I do not remember the names or the faces that well. There were too too many to remember.
English exam, was a big event as I wrote in the last post. Sure it brought many of us together and new friendship's flourished. We, Jerome and myself were joined by Titus Vimalasiri, who was from Maravila area, and who taught for a short time at Joseph Vaz. Titus was a good friend of Palitha and we quickly made inroads in friendships. We were feeling home at the thurstan canteen and the boys common room.
Continue Reading...

සුබ උපන් දිනයක් සුමුදු පුතා



තණ නිල්ල මත විසිරි
මල් තුහින පෙති මත
ලකුණු අැත තැන තැන
නට නටා දඟ කෙරුව
සිඟිති පා පොඩිති වල....!

දවසක් පහු වුනත් මේ සටහන,
සුබ උූපන් දිනයක් රත්තරන්.
 
Continue Reading...

මොකුත්ම කරන්න බෑ අම්මේ ! [බෝධි ලියන අනිත් කොන]


වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ. 

ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

"ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
" තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
"මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
"ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා. 

මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා. 

මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි... මෙහෙම සටහන් කරලා තිබුනා. මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.

 feeling emotional.
Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..
( හදවතක් අතේ දරාඑන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)

" මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

" අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

"මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

"එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !

එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්. 

බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. කෙනෙක් අහනවා. "ඩොක්ටර් ඔයා ඔච්චර කත ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා

මේවා මුහුණු පොතේ ලීවම, වෛද්‍යවරියක්ම අහනවා "එතකොට ඔයා හිතන්නේ මේ දරුවන්ව බඩේදිම මරන්නද ? " කියලා. ඒ කීව කෙනා ලිංමැඩි වෛද්‍යවරියක් වීමම මට තිබෙන දුක. අච්චර වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරලා,

පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මීට පෙර සම්මත නොවූයේ දේශපාලන, ආගමික, සංස්කෘතික සහ සමාජයීය පීඩනයන් හේතුවෙන් බවයි. “නමුත් මව්වරුන්ගේ විඳවීම අවසන් කිරීමට මේ නීතිය අත්‍යාවශ්‍යයි. හැම අම්මා කෙනෙකුටම වේදනාවෙන් සහ පීඩාවෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” යැයි ද වෛද්‍ය රත්නසිරි මහතා ප්‍රකාශ කළේය. 
-ඩේලි නිව්ස්
බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

"අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබයි. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

https://anithkona.blogspot.ca/ 
Continue Reading...

Tuesday, August 15, 2017

දුක දැනෙන කොටස! - රසිකා ගුණවර්ධන [දිනමිණ වසත් සුළඟ - 2017/08/15]





'ඉතින් අන්තිමට එයා මැරුණම මම හිතුවා ඔබත් ඈත අතීතයේ ඉන්දියානු ගැහැණු කළා වගේ සොහොනට පනීවි කියලා.'
"නෑ මට එහෙම හිතුනේ නෑ ."
'ඔබට උසුලන්න බැරි තරමට දුක හිතෙන්න ඇති'.
"ඔව්.මට එහෙම හැඟීමක් දැනුනා.හැබැයි උසුලන්න පුළුවන් තරමට."
'ඒ කියන්නේ ඔබ ඔහුට එතරම් ලං වෙලා නොහිටින්න ඇති.'
"සමහර වෙලාවට අපි හුඟක් ලං වෙලා හිටියා.සමහර වෙලාවට හුඟක් ලං වෙලා ඉන්න අතරේම හුඟක් ඈත්වෙලත් හිටියා ."
'එහෙම ඉන්න පුලුවන්ද?'
"එහෙම ඉන්න පුලුවන්ද බැරිද බව නොසිතාම එහෙම වුනා."
'සමහරවිට ඔබ දෙදෙනා උවමනා තරම් ආදරෙන් නොහිටින්න ඇති.'
"උවමනා තරම් ආදරේ කියන්නේ කොච්චරක්ද කියලා හිතන්න අපිට උවමනා වුනේම නෑ .ආදරේ කියන්නේ මොකද්ද කියලා හිතන්නවත් අපි උත්සාහ කලේ නෑ ."
'එතකොට එකට ජීවත් වුනේ?'
"එක ගෙදරක එක කාමරේක ජීවත් වුනා.එහෙම ඉන්න ආදරේ වගේ දේවල් සම්පුර්ණයෙන්ම අවබෝධ කරගන්න උවමනා වුනේ නෑ ."
'ඒ කියන්නේ ඔය දෙන්නා ශරීරයෙන් එකතු වුනේ නැද්ද?'
"ඔබ කියන්නේ ලිංගිකව හැසිරුනේ නැද්ද කියලද? හැසිරුනා.ඒකට අවශ්‍ය හෝමෝන අපේ ශරීරවලින් නිකුත් වුනා.පිරිමි හෝමෝන සහ ගැහැණු හෝමෝන.සතුට ලබාදෙන හෝමෝන උත්තේජනය වෙන මස්තිෂ්කයේ කොටස් හොඳින් ක්‍රියාත්මක වුනා."
'ඔබ දෙදෙනාට කවදාවත් විවාහයක් උවමනා වුනේ නැද්ද?'
"විවාහය කියන දේ අවබෝධ කර ගන්න අපිට කවදාවත් බැරිවුනා.විවාහය කියන දේ අපිට හිතුනෙම ජනෙල් දොරවල් වහපු කාමරයක් වගේ තැනක් කියලා.එහෙම තැනකට යන්න අපිට එකඟ වෙන්න අමාරුවුනා.හුස්ම ගන්න අමාරුවෙයි කියලා අපි බයවුනා."
'එතකොට දරුවෝ?'
"ඒක හරිම අමාරු ප්‍රශ්නයක්.ශෛල කීපයක් එකතුවෙලා ඒවා බෙදිලා බෙදිලා ප්‍රාණයක් හට ගන්නවා.මව් කුසෙන් එලියට ආපු දවසේ පටන්ම ඒ ප්‍රාණියා සටන් කරන්න පටන් ගන්නවා.
ආහාර වලට,හිරු එලියට ,ජලයට,ඇඳුම්,සපත්තු,සෙල්ලම් කාර් වලින් පටන් අරගෙන ගෙවල්,ගම,නගර ,රටවල් වලට සටන් කරනවා.අපි වගේම දුක්බර ප්‍රාණියෙක් බවට පත්වෙනවා.ඒ නිසා අපි ඒ ගැන කැමති වුනේ නෑ ."
'දරුවෙකුත් නැතුව ගතවුණ ජීවිතේ ඔබලාට පාළුවක්,අරමුණු විරහිත බවක් දැනුනේ නැද්ද?'
"එහෙමම නෑ .අපි රංචු ගැහිලා හිටියට කොහොමත් අපි ඉන්නේ තනි තනිව.නින්දට යන මොහොතේදීත්, කාර්යාලයේ වැඩ කරන මොහොතේදීත්, සිප ගන්න මොහොතේදීත් අපි ඉන්නේ වෙන වෙනම.
මම ගැහැණු සිරුරකත් ඔහු පිරිමි සිරුරකත්.එක ළඟ.වෙන වෙනම."
'මට ඔබව තේරුම් ගන්න හරිම අපහසුයි.'
"කිසිවෙකු තේරුම් ගන්න කිසිදාක උත්සාහ කරන්න එපා.ඒක තේරුමක් නැති දෙයක්."
'ඔබ දෙදෙනා කවදාවත් එකිනෙකා තේරුම් අරන් හිටියේ නැද්ද?'
"නැහැ.අපි අපේ නම්,දෙමාපියන්ගේ නම්,ගම,උප්පැන්නයේ සඳහන් සියලු දේ,කැමති අකමැති බොහෝ දේ දැන සිටියා.
මා කැමති ආප්ප හකුරු සමග කන්න සහ ඔහු කැමති ලුණු මිරිස් සමග කන්න යනාදී වශයෙන්.
සීතල දේවල් බොනකොට ඔහුගේ වම් හක්කේ දත් හිරිවැටෙන බව හා උණුසුම් දේවල් බොනකොට මගේ දකුණු පුරශ්චාර්වක දත් රිදෙන බව වගේ දේවල්."
'ඔහුට මේ වගේ බරපතල අසනීපයක් හැදුනම ඔබට මොනවද හිතුනේ?'
"මට හිතුනා ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කරන්න.ඉතින් මා ඒ දේ කළා."
'ඔහුට කවදාවත් සුව කල නොහැකි බව දැනගත්තාම?'
"මට වැටහුනා ඔහු වැඩි කලක් ජීවත් නොවෙන බව."
'ඔහුත් ඒ බව දැන සිටියාද?'
"ඔව්,ඔහු ඇත්ත කියන ලෙසට දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටියා."
'ඔහු ඒකෙන් ශෝක වුනාද? බියට පත් වුනාද?'
"ඔහු පැවසුවා දැන් ආපසු යන කාලය එළඹ ඇති බව.මෙතෙක් ඔහු සමග සිටියාට ස්තූති බව.බැංකු ගිණුම්වල රහස් අංක හා කාර් එක වෙලාවට ලයිසන් කල යුතු බව හා ප්‍රවේසමෙන් පැදවිය යුතු බව.
ඔහු පැවසුවා ඔහුට අසාධ්‍ය වූ පසුව ස්වසන යන්ත්‍ර ආධාරයෙන් ජීවත් නොකළ යුතු බව හා දින දෙකකට පසුව ඉන් ඉවත් කල යුතු බව.
නොදන්වා පැමිණි ලෙස නොකියාම පිටව යන හෙයින් මා ශෝක නොගත යුතු බව.
මගේ මස්තිෂ්කයේ සතුට ලබාදෙන කොටස් ක්‍රියා කරන හෙයින් මා ඒ අනුව ක්‍රියා කල යුතු බව."
'ඉතින්?'
"ඉතින් මා ඔහු කී ලෙස ක්‍රියා කළා.මොලයේ ඇති දුක දැනෙන කොටසෙන් සංඥා ආ නිසා මා ශෝක නොවුනාම යයි කියන්නේ නෑ .
නමුත් ඉක්මනින් ඒ හැඟීම් අවසන් වුනා.සතුට ඉල්ලන කොටස් ක්‍රියාත්මක වූ නිසා එය සොයා ගියමුත් එය පවා ඉක්මනින් අවසන් වුනා.
දැන් මා සිටින්නේ සතුට හා දුක යන හැඟීම් වල හරි මැද ,කිසිවක් නොදැනෙන අවධියක.
මට හිතෙන්නේ මේ තමයි මගේ ජීවිතයේ හොඳම කාලය.
නිර්වින්දනය වූ කිසිවක් නොදැනෙන කාලය."

Continue Reading...

Saturday, July 29, 2017

කොහෙ ඇද්ද උඹ අද?

පියාපත් සිඳී ගිය
වළාකුළු අගිස්සක්
හෙමි හෙමින් කිති කවන
මහාපර කන්ද තනිවම
යන්තමට සිනාසෙනු ඇති
කවදත් වගේ නිසලව

පැහුම් පිහිතල සිඹුම්
ලැබ පැහෙන අතු අගින
මල් පිපෙණු නොහැකියෙන්
මල් වගේ දළු පුරන

තේ පඳුරු හිස් මතින්
පාන්දර පාත්වෙන
මීදුමේ එති එතී
ගලනු ඇති කර සුවඳ
නාස් පුඩු කිති කවන

මටකැලේ පල්ලියේ
සීනුවේ සිලි සිලිය
බඩගිනිව අඬන විට
පිණි කඳුළු සීත වග
නොදන්නා නුඹේ පා
නොහික්මුණු ගල් කැබලි
අඩි පාර දිග දුවා
තණ බිස්සෙ හංගද්දි
කට කොනේ හිනාවට
හිනාවෙන තණ පෙත්තො
පනිනවා ඇති අහක

කම්බිලිය දුම් සුවඳ
කැටි කරන් දකුණතින්
හිනාවෙන සුද පෙනේ
ඈත වංගුව ලඟින්

දැණුනෙ නෑ කොහොමටත්
වචන වල තේරුමක්
ඇහෙනකන් හැටන්වල
කෝච්චිය පුරවද්දි
ලතෝනිය ගෑණුන්ගෙ
බිම බදා මොර තියන
දකිනකන් මිනිසුන්ගෙ
කරවෙච්ච ඇස් අහල
කඳුළු වල රතු පාට

ඉන්දියාවට වතු දෙමළු
බාගයක් පටවන්න
ආණ්ඩුවෙ තීරණේ...

කොහෙ ඇද්ද උඹ අද අම්බලකන්?



Photo Credit - Bezalel Thilojan‏ @ThilojanVM



Continue Reading...

Saturday, July 22, 2017

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක [බෑණා කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට]

 පින්තූරය - http://soonall.com/landscaping.html

අපේ තාත්තලා, බාප්පලා ආදී නෑදෑ පිරිස් ගෙදරක මගුලකට තුලාවකට එකතු වූ කල. තරමක් ඇඟපතත් රත්වී සිංදු කියන වෙලාවල, නොවරදවාම වාගේ ගායනා වෙන පරණ නූර්ති ගීයක්ය මා හිතන, ගීතයක් තිබේ.

"සරණ බැඳුන තරුණ මහළු හැම දෙනටම මංගලම්" කියන ආශිර්වාදයක් වටේ කැරකෙන මේ ගීතයේ පද අතරින් හොඳටම මතක පදටික නම්

'බෑණ කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට
දෙයියන්ට මෙන් බෝ ගරු කොට මාම පුදයි සිය බෑණට'
කියන පද දෙපේලියයි.

මේ සිංදුවේ නූතනීය වූ ගායනයක් මෙරිල් ප්‍රනාන්දු නම් දැන හැඳුනුම් කමක් නැති ගායකයකු විසින් ගැයී අන්තර්ජාලයේ හැංගී තිබී ඊයේ පෙරේදා හමුවිය. අපේ තාත්තලාගේ සිංදුවේ, මීට වඩා පද තිබුණු බවත්, නැන්දා මාමාගේ ගරු සරුව බැන්දාට පස්සේ ඉහල පහල යන කතන්දරයත් අඩංගු වූ බවත් මගේ නොපැහැදිලි මතකය මුත්, මතක වතුර භාවිතයක් නොමැති කාලයේ ඇසූ නිසාදෝ ඒ වචන පේලි සියල්ල අද මතකයට එන්නේ නැත.

මෙරිල්ගේ ගීතය - එම්.පී.3 ගොණුවකි. වාදනය කරන්න හෝ බාගන්න පුළුවන.

මටත් මගේ අතිජාත මිත්‍රයා වූ ප්‍රසාද්ටත් උඩරට මැණිකේ කෝච්චියේ නැගී කොළඹ හිට බදුල්ලටම යන්නට ග්‍රහයන් පෙල ගැහුනේ නවසිය අසූවේ අප්‍රියෙල් මාසේ දහ අට වෙනි දා ය. අද වාගේම මේ කියන කාලයේත් උදේ නවයට විතර කොටුවෙන් පිටත්වෙන මැණිකේ, හරියටම බදුල්ලට සේන්දු වෙන්නේ, රාත්‍රියේ හතට අටට විතරය. කිලෝ මීටර තුන්සීයට පැය දහයකි. කෝච්චිය යන්නේ බදුල්ලට වුනත්, අපේ ගමනේ ගමනාන්තය එයිටත් එහා, පස්සරත් පහුකර ලුණුගල දක්වා ය. හරියටම කියනවා නම් ලුණුගල විජය චිත්‍රාගාරයට ය. ඒකාලේ හැටියට වෙන්ඩ නැන්ද මාමලා දිහාවේ ය. අද යනවා නම් මෙතැන නම 'ස්ටුඩියෝ විජය' ය.





මගේ දිනපොතේ සටහන් අනුව නම් එදා අපි කොටුවේ දුම්රියපලට ආවේ උදේ අටයි තිහටය. කෝච්චිය පිටත්වුනේ නවයයි හතලිස් දෙකටය. දහය මාරට වේයන්ගොඩය. එකොලහයි පහට පොල්ගහවෙලය. එකොලහයි විසිදෙකට රඹුක්කනය.  දෙකයි විස්ස වෙද්දී වටවල සීයේ කණුව පහුකරලාය. හැටන් හරියේ ඇංජින් දෙක අවුණලා නානුඔයට කන්ද නැගලා බැහැලා හයයි දහනවයට බණ්ඩාරවෙලටත්, හයයි විසිතුනට කිණිගමටත් හයයි තිස්පහට හීල්ඔයටත් ගිය මේ කෝච්චි ගමන දෙමෝදර වට වංගුව හරියට එද්දී අන්ධකාර වැටී තිබුණි. මේ වෙද්දී සෑහෙන්න හිස්වී තිබුණු කෝචිචියේ අපි දෙන්නාගේ එ් වෙලාවේ නවාතැන වී තිබුණේ බෆට් පෙට්ටියේ මේස පුටු යුගලකි. දෙමෝදර ලූප් එක බලන්නට ජනෙල් වීදුුරුවට ඇහැ අලවාගෙන ඉන්නා වෙලාවේ, බෆට් එකේ මේස අස්කරන මල්ලී ඇවිත් කෙළවරක ඉඳලා ජනෙල් කවර වහගෙන වහගෙන ආයේය.

"අපේ එක වහන්ඩ එපා. අපි මේ දෙමෝදර බලන්න බලාගන ඉන්නෙ" යි කියූවිට ඇහුණේ සමච්චල් නෝක්කඩුවකි.
"ඔයාල දෙමෝදර දැකල නෑ....? අනේ මේ වීළු නොකර ඉන්න....!"

එසේ කෝචිචි ජනේලයෙන් එබී දෙමෝදර ලූප් එකේ කණාමැදිරි ලයිට් එළිත් බලා බදුල්ලට එද්දී වෙලාව හැන්දෑවේ හතයි හතලිස් පහය.

හතයි හතලිස් පහ ඒ කාලේ බදුල්ලට රාත්‍රිය ය. මේ බව හොඳින් දැන සිටි අපි මේ ගමන ආවේ බදුල්ලේ රෑ නවතින්නය. ඒකත් එසේ මෙසේ තැනක නොවේ.  මුතියංගන පංසලේ බණ මඩුවේ රෑ නවතින්නය. බුදුන් පා තැබූ බිමක් වුණත් මුතියංගන පංසලේ බණ මඩුව ඒ කාලේත් අපි වාගේ සාමාන්‍ය මනුෂ්‍යයින්ට ඒ තරම් ආරක්ෂාවක් තිබුණු තැනක් නොවෙයි. එයිට මාසයකට දෙකකට විතර පෙර, පිරිත් ගෙදරක දී හමුවුනු පස්සර පැත්තේ නංගි කෙනෙක් බලන්නට බදුල්ල හරහා යන්නට ඇවිත් මුතියංගනේ නිදාගත් අපේ බැචෙක් වූ දාංචියා පහුවදා කොළඹ ආවේ රෑට නිදාගන්නට ඇඳගත් සරම පිටින්ය. කකුලෙන් නොගැලවූ නිසා, සපත්තු දෙකත් නම් ඉතුරුව තිබිණි. මේ තත්වය නිසා, අපේ සැලසුම වූයේ පුළුවන් තරම් රෑ වෙනතුරු අවදිව ඉන්නා එකත්, හැකිතාක් දුරට එක්කෙනෙක් මුරට තබා අනික් කෙනා නිදාගැනීමත්ය.

මූණ කට හෝදාගෙන සරමකට බැහැලා, බදුල්ල ටවුම පුරා ඇවිදින අතරේ අපටම ගැලපෙන්න බදුල්ල රෙක්ස් හෝල් එකේ, 'සූර චෞරයා' බෝඩ් එකක් ගසා තිබුණි. නවය මාරේ ෂෝ එකට සෙට් වුනාම පැය තුනක් හමාරක් ගාමිණීගේ කඩු පයිට් වලට විසිල් ගහන්නට පුළුවන් වූ නිසා, ඒකෙන් ඉබේම රෑ වෙනතුරු අවදිව ඉන්නා කොටස සම්පූර්ණ විය.

එකා එකා නිදාගන්නා ප්ලෑන් එක නම් ඒ විදිහටම කෙරුණායි මට මතක නැත. එහෙම වුණත් ඇඳුම් බෑග් එක කිටි කිටියේ ඔළුවටම තද කරගන, අත් දෙකෙනුත් අල්ලාගෙන නිදා ගත් අපි දෙන්නාගේ සියළු අවයව පහුවදා උදේත් ඒ විදිහෙන්ම තිබුණි.

සල්ගාදු හෝටලෙන් උදේට කාලා, උදේ පළවෙනි බස් එකෙන් ලුණුගල ගිය අපි දෙන්නා, එදා උදේ විජය චිත්‍රාගාරයට ගොඩවෙද්දී වෙලාව උදේ නවය විතර වෙන්නට ඇත. ස්ටුඩියෝ එකේ අයිති කාරයා මාතර මනුස්සයකු වූ එඩී විද්‍යාරත්නය. එයාගේ ලොකු දුවගේ කැම්පස් යාළුවන් දෙන්නෙක් මෙහෙම කොළඹ හිට ලුණුගලටම ආ එක එයාට නම් ඉහේ මල් පිපුණු තරම් සතුටු කාරණයක් විය. මොන දීපංකරේ කොහේ ඉඳ මොකට ආවා ද අහන්න බලන්නත් කලින්, දවල්ටත් කාලා, රෑටත් ඉඳලා හෙට දිහාවේ නිවාඩුව යන්න පුළුවන් නේ කියන පමණට අපේ වෙන්ඩ මාමාට මාවත් මගේ සපෝට් කාරයා වූ ප්‍රසාද්වත් අල්ලා ගියේය.

ස්ටුඩියො බරාඳයේ ඇඳි පුටුවල වාඩිවී සිටි අප දෙන්නාත් සමග, ඒ දවස් වල එහේ කතාබහේ මාතෘකාව වූ එයිට දවසකට දෙකකට කලින් අවට ගමක සිදුවූ තරුණ යුවලකගේ සිය දිවි නසාගැනීමේ සිද්ධිය කියන්නට ගත් එඩී මහත්තයා ගේ නිගමනය වූයේ ඒ වගේ සිද්ධි වලට මූලික හේතුව තරුණ අයගේ අදහස් උදහස් තේරුම් නොගෙන ඒ සම්බන්ධයට වින කරන්නට ගිය උන්ගේ අම්මලා තාත්තලාගේ මෝඩ කමය. තැනේ කාලයේ හා වෙලාවේ හැටියට ඒ වොලිබෝලය උඩට උඩට නග්ගලා ඩෑෂ් ගහන එක නොකර ඉන්නේ කොහොම ද?

තාත්තලා එහෙමය. හිතේ දෙකක් හංගාගෙන කතාවට තව එකක් කියන පුරුද්දක් එයාලාගේ නැත. ඒත් ඇත්තම කාරිය නම් එඩී මහත්තයා අපේ ගමනේ පසුබිම් කතාව ගැන හාං කවිසියක් නොදැන හිටීමයි. මේ කතා බහ මෙහෙම යන අතරේ ඇවිත් ඉන්නේ කවු ද කින්ද මන්ද ආදී කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ මනමාලිගේ අම්මා නොහොත් මගේ වෙන්ඩ නැන්දම්මා, මට මතක හැටියට තේ බන්දේසියකුත් අරන් සාලයට ඇවිත් ගියාය. අපේ බාප්පලා කියන අර නූර්ති සිංදුව වැරදි විය යුතුය, නැත්නම් උඩරට ඈයෝ ඒ සිංදු දන්නේ නැතිය කියා හිතුණේ, එයා ඇවිත් අපේ මූණු බලලා ගියාට පස්සේ ප්‍රසාද් හෙමිහිට මගේ කණට කර "අපි ඉක්මනට යං මචං" කියා කිව් වෙලාවේය.

යනවා ය කිව්වාට ලුණුගලින් යන එකත් ලේසි පාසු වැඩක් නොවේ. එක අතකින් තාත්තාගේ රෑටත් නැවතිලා යන පෙරැත්තය ය. අනික් අතින් ආපු කාරණාව එහෙම ආපු ගමන් හැරී යන්නට පුළුවන් කාරණාවක් නොවීම ය. එයිටත් වඩා, ලංගම බස් කියන්නේ අපි හිතන හිතන වෙලාවට යන එන වාහන වර්ගයක් නොවීම ය. කරුණු කාරනා එසේ වූ හෙයින්, දවාලට කාලා බිබිලෙන් මොණරාගලට ගිහින් කොළඹ බස් එක අල්ලන්ඩ තීරණය වූ අතර, ඇත්තටම සිද්ධ වුනේ නම්, එදා රාත්‍රියේ බිබිලේ නිදාගන්ඩ තැනක් හොය හොයා ඉඳලා, අන්තිමේ කුලී කාමරයක රෑට ඉඳලා, පහුවදා උදේ මයියංගනේට ගිහින් එතනින් දහ අට වංගුව පහුකරලා නුවරට ඇවිත්, නුවරින් කොළඹ ඒමයි. ඒක වෙනම දවසක වෙනම සටහනක් තියන්නට දිග කතාවකි.


අද මේ සටහන එදා එක බැල්මෙන් අපි දෙන්නාගේම සියොලඟ හිරි ගඩු පිප්පවූ අම්මා, අද මගේ නැන්දම්මා ගැනයි. මේ අවුරුද්දේ මාර්තු මාසයේ අසූ අවුරුද්ද සපිරූ, මානෙල්ගේ අම්මා වූ නිසා විද්‍යාරත්න වූ, සෝමලතා ඒකනායකට මේ වසරේ ලැබුණු ඉහලම තෑග්ග, අපේ පුතාගේ කුළුඳුල් දූ සිඟිත්තගේ නමට ඇගේ නමත් ඇතුලත් වීමයැයි සිතමි. 

ඒ රෝස පොපි මල ගැන මෙතැන ලියා තිබේ. අම්මලා කියන්නේ දූ පුතුන් ගැනම තැවෙනා අය ය. දැවෙනා අය ය. ප්‍රසාද් වීරසේකර නොහොත් වීරයා ලියූ පහත පදවැලට තනුවත් සංගීතයත් මුසු කලේ බිබිලාදෙණියේ මහානාම හාමුදුරුවන් ය. අම්මා ගැන ගයන්නේ එදා ඒ ගමන එක දෙක වී, තුන හතර වී, කසාදයකින් කෙලවර වී අම්මා කෙනෙකුවූ, අර අම්මාගේ දෝණියැන් දෑය. බදුල්ලේ පාරවල රෑ තිස්සේ ඇවිදින්නටත්, රෙක්ස් හෝල් එකේ සූර චෞරයා බලලා, මුතියංගනේ නිදාගෙන, සල්ගාදු එකෙන් උදේ ට කාලා, පාන්දර බස් එකේ ලුණුගල ගියේ ඈ නිසාය. ඇයත් අද අත්තම්මා කෙනෙකි.

ජීවිතය ගමනක් මිස දුෂ්කර ක්‍රියාවක් නොවේ.


Continue Reading...

Monday, July 17, 2017

නොම වෙයි මහළු




දැක ඇද්ද කිසි දිනක
වියපත්ව ජරපත්ව

අඩ දැණිව සුසුම්ලන
මහළුවූ ගිනි සිලක්...?
රත් පුළිඟු වී තිබෙයි
නෙත් වැසී නිහඬ වී
කැකුළු මල් සේ නිදා
පිපෙන්නට අර අඳියි
ළදරු වී වැඩෙනු මිස
තරුණ වී මියෙනු මිස
කිසි දිනෙක කිසි විටක
වියපත්ව ජරපත්ව
අඩ දැණිව නොපවතී
ගින්දර...!

Continue Reading...

Friday, July 14, 2017

උපේක්ෂාගේ අළුත් කවි පොත - සුසුම් නාඳුනන අප දෙදෙන


චිරාත් කාලයකට පෙර හවස්වරුවල බස් එකක එල්ලෙන්නට තුන්මුල්ලේ තැප්පෙන වෙලාවල, එතැන රතු එළියට නැවතෙන අළුත් පහේ මෝටර් රථවල රෝද දෙස නැවී පහත්වී දෑස් දල්වා බලා ඉන්නා සෙල්ලමක් කරන්නට අපි පුරුදු වී සිටියෙමු. එසේ හිඳිමින් ලඟ ඉන්නා එකෙකුටත් අත දික්කර පෙන්නා මවිත වූ බවක් පලකර රිය පදවන්නා දිහාත් මවිතයෙන් බැලීම ඊලඟ තලය වෙයි. ඉලක්කය රථයේ රෝදවල මොකක්දෝ අභව්‍යයක් පවතින්නේ යැයි රියදුරාට ඉඟියක් දීම යි.

මේ සෙල්ලමට අහුවන කවුරුවත් රථය නවතා බහින්නේ නැත. එහෙත් හිතේ ඇතිවන සැකය අපට උන්ගේ මුහුණු වලින් පෙනෙයි.

ගමනක් යන අතරතුරක කෙනෙක් හෝ පිරිසක් පාර අයිනේ නැවතී එකම දිශාවක් බලා ඉන්නවා දැක්කොත් අපේ සිත් වල ඇතිවන්නේ ද එවැනිම වූ විපිලිසර බවකි. අපටත් නැවතී බලන්නට ආශා සිතෙයි. බොහෝවිට අපි එසේම කරමු.

වෙසක් සඳ
නිවෙන දැල්වෙන
විදුලි එළි මැද
වෙසක් සඳ
නිහඬවම ගගනත
(පළිඟු කැට - 29)

 උපේක්ෂා ඉමාලි මේ කෙටි කවිවලින් කරන්නේත් පාඨක සිත අරවාගේම කුතුහලයකින් පිරවීමකි. ඕ, අමුතුදේ මවා පෙන්වා අප වසඟ නොකරන්නීය. නානා විධ උපමා රූපක වර්ණ වලින් කඩ ඉරි තිත් බෝල පාටකර අප මවිත නොකරන්නීය. නිවෙන දැල්වෙන විදුලි බුබුලින් රටා මවන වෙසක් තොරණ දෙස බලාහිඳිනා ඇය සෙමෙන් නෙත් හරවා අහස මැද නොසැලී දිලෙන වෙසක් සඳවත අපේ නෙත් මායිමට හසුකරවන්නී ය.

මේ සරල කම තුල රැඳුණු ගැඹුර විඳින්නට නම් අපත් ඈ සමගම නැවතී බැලිය යුත්තෝ වෙමු.

උපේක්ෂාගේ ඒ මුල් කවි එකතුවේ පළිඟු කැට තුලින් පෙරී ආ දේදුනු සිතුවම් මුලින්ම මා කියවූයේ මුහුණු පොතේ ඇගේ සටහන් හරහා යි. එතැනට ගොඩවෙන හැම විටකම පාහේ අළුත් යමක් ලියා ඇද්දැයි හොයා පෙරලා කියවන සිරිතකට මගේ සිත යොමුවන්නට තරම් ඒ පබැඳුම් මිහිරි වූයේ ය.

උපේක්ෂාගේ රචනයන් තුල මා දකින මේ නිසලව නෙත් කොණින් යමක් පෙන්වීමේ ගුණය ඇගේ කෙටි කවිවලටම සීමා නොවෙයි. පේලි තුන හතරේ කෙටි කවියක් නුවූවත්, පහත සබඳියේ ඈ "අපේ තාත්තා" ගැන ලියන්නේ ද ඒ නිහඬ සංයමයෙන්ම යැයි මම හඟිමි.

https://lokuakuru.blogspot.ca/2017/04/blog-post_5.html

උපේක්ෂාගේ  දෙවැනි පොත 'සුසුම් නාඳුනන අප දෙදෙන' වූයේ ඇයිදැයි ඇසූ විට ඕ ඒ නම් තැබිල්ලට පාදක වූ පද දෙකක කෙටි කවියක් ලියා එව්වා ය.

"මේකට මේ නම තිබ්බෙ ඇයි? පොතේ එන කවි පෙලක නමක් ද? කවිය එවනවා ද මට?"

"ඉන්න අයියෙ එවන්නම්"

සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර

"මේ කවියෙන් තමයි නම හැදුනෙ. කාංචනයි නිලන්ත අයියයි තමා නම හැදුවෙ. නමත් කවියක් වගේ"

"ඔව්..."

මෙවැනි දේ විඳීමට වාසනාව තිබෙන්නටත් වාසනාවක් තිබිය යුතුයැයි මම සිතමි.

සුබ ගමන් උපේක්ෂා... ඔබේ ගමන ඇරඹී අවසන්. මේ දෙවෙනි පියවරයි.
Continue Reading...

Tuesday, June 13, 2017

සීතල පිණි මත මල් පෙති විසිරෙන ....

මුහුද හැමදාම රළ නැගුවත් ඒ එකිනෙකක් එකිනෙකට වෙනස් වෙයි. ගඟ දියට ⁣මොනයම්ම අයුරකින් හෝ දෙවරක් බැසිය හැකි වුනත් එකම මුහුදු රළක් දෙවරක් නොපෑගෙතැයි මට සිතෙයි. එහෙත්අපි ඒ රළම නැවත බිඳී වැතිරෙන තුරු වෙරළ වැලි කතර දෙස බලා සිටින්නට ප්‍රියැත්තෝ වෙමු. ජීවිතය විඳිනවාය ක්යන්නේ මෙවන් වේලාවලට යැයි මම සිතමි. මේ විඳීම් නම් නැවත කියන්නට ලියන්නට ගියත් ඒ ව්දිහෙන්ම කියවෙන ලියවෙන දේය. ඉතින් මේ සටහන අපේ ඉතිහාස කතාවේ උත්පත්ති පරිච්ඡේදය මේ සිදුවීමට තිස් අට වසරක් පිරෙන අද නැවත මෙතැන මෙසේ අවුණමි. ප්‍රේමය නම් ජීවිතයම මිස අන් කිසිවක් නොවේ.





එඩ්වඩ් තිමති ජයකොඩි ගායකයෙක් ලෙස ඉදිරියට ආවේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපු‍ර වැඩ සටහනෙන් බව මගේ මතකයයි. මට මතක හැටියට මේ වැඩසටහන කාලයක් ඩී. එස්. අයි. පිබිදෙන ගායක පරපුර වී තිබිණි. ඩී. එස්. අයි කොම්පැණිය නිපදවූවේ විකුණුවේ ‘සපෝටර්’ ය. දිය ලණුව වෙනුවට ඉලාස්ටික් පටියක් යොදා තට්ටම් හරහා දුවන තවත් පටි දෙකකින් සපෝට් කල මේ පිරිමි යට ඇඳුම ඒ කාලයේ අපේ කොල්ලන් අතර ‘රට අමුඩය’ කියා ප්‍රචලිත වී තිබුණි. මේ විදිහෙන් එදා අද ගැන හිතන විට ගායකයින් ගායිකාවන් දොරට වැඩීමේ කර්තව්‍යයෙහි මහ වෙනසක් සිදුවී තිබේද යන්න පිළිබඳව සියුම් සැකයකුත් හිතේ ‍කොඳුරයි.

එඩ්වඩ් අපූර්ව ගායන කුසලතාවයකින් තරුණ අපේ සිත් සතන් ඇද බැඳගත්තෙක් වීමට වැඩි කලක් ගත නොවී යැයි සිතමි. හැත්තෑව දශකයේ අග භාගය පමණදී එඩ්වඩ් හඳුනා ගන්නටත් යම් දුරකට ඇසුරු කරන්නටත්, අදටත්, ලඟින්ම නොවුනත්, හිතවතෙක් යැයි කියන්නට පුළුවන් හිතවත් කමක් තියාගන්නටත් තරම් ඒ හමුවීම දුර ගෙන යන්නටත් ලැබීම සතුටකි.

මේ සතුට නිරනුමානයෙන් සිතට ගෙනෙන ඉහත පද පේලිය මගේ සිතට සමීප වූ සිදුවීම් අදට අවුරුදු තිස් එකක් පරණය. එහෙත් තවමත් සුවඳය. සිංදුවේ කියැවෙන්නා වගේම මේකත් පෙරුම් පුරා පෙරුම් පුරා කල හමුවීමක කතාවක්ම විය යුතුය. පෙර ආත්ම ගැන කියන්නට තියා මේ ආත්මයේ සිදුවීම් වටහා ගන්නට තරම්වත් හිත දියුණු කර නැති බැවින් පෙරුම් පිරුවාය කියන හිතිවිල්ල මිස මොන ආකාරයකින් ඒ ක්‍රියාව සිදුවුණාද කියන්නට නම් නොහැකියි.

ඉතිහාසය නම් අපට අපේ ජීවිතම වෙයි. රට කරවූ රජුන්ගේ සාහසික කම්, ආලවට්ටම් සහිතව ලියා තබන්නාවූ පොත් ඉතිහාසය ලෙස කටපාඩම් කරවූ අපට අපේ ඉතිහාසය අප දන්නා දුටු ලෙසින් ලියන්නට කාලයකි මේ. ඉතින් වයිවාරන්න කතා වලින් අන්තර් ‘ජංජාලය’ (මේ වචනයත් ඇහිඳ ගත්තේ ජංජාලයෙන් මයි) හැඩ කරන සිංහල ලියන්නන්ගේ කතා අතරට අපේ කතාවත් එකතු කරන්නට අද දවස හොඳයැයි අද උදේ මට ලැබුණු ඊ මේල් පණිවිඩයක් මතක් කර දුනි. දහසකුත් කතා අතර තවත් එක කතාවක් සිද්ධියක් හෝ තලත්තෑනි යුවලකගේ පරණ පෙම් හෑල්ලක් ලෙසම පමණක් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් නමුත්, මේ කතාව අද දවසේ අපට, එක්ටැම්ගෙයි ගැබ්බර වූ උන්මාද චිත්‍රාගේ ත් පඬු අබාගේත් පුළුල් තිර කතාවට වඩා හිතට සමීපය. ආදරණීයය.

මේ සටහන සාහිත්‍ය කෘතියක් ‍නොවේ. බොළඳ පෙම් කතාවක ජවනිකාවක් සේත් ‍දකින්නට හැකි මුත් ඒ බොළඳත්වය තුල සැඟවුණු අව්‍යාජ ගැඹුරක් මම දකිමි. එසේ වන්නේ මේ සටහනට පාදක වන වකවානුවත් අපේ ජීවන පසුබිමත් එක්කර සසඳන කල; අපේ ජීවිත පිළිබඳව තීරණ ගැනීමට, වගකීමකින් යුතුව තීරණ ගැනීමට, අපට ඇති අයිතිය අප විසින්ම සාක්ෂාත් කරගැනීමත්, ඒ තීරණ විසින් වෙනස් කරනු ලබන්නාවූද අනාගතය නම්වූ සොඳුරු නමකින් හඳුන්වන්නාවූද කාලාන්තරය දෙස එඩිතරව බලන්නට අපට තිබූ හැකියාව අවබෝධ කර ගැනීමත්; මේ මහා විශ්වයේ සිදුවීම් අතර අල්පේච්ඡය වූ මේ සිදුවීම තුලින් පිළිබිඹු වන බැවිනි.

කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ අප කුඩා කාලයේ බොළඳ නවකතාවක් විය. අනතුරුව කුමාර කරුණාරත්න ලියු කතා පුස්ථකාල වලට වැද්ද නොගන්නා බාල කථා විය. එංගලන්තයේ නාඩගම් කාරයෙක් වූ ෂේක්ස්පියර් ගේ ‍රෝමියෝ ජුලියට් අග්‍රගණ්‍ය පෙම් කතාවක් වන විටත් අපේම ඉතිහාසය අලලා ලියැවුණු ‘රෝහිණී’ වැනි කෘති පාඩම් පොතක් තරමට ඉහල යනවිටත් අපේ ලෝකයේ අපේම කොළු කෙල්ලන් අතර ආදරය දළු ලෑ ලියලූ ආකාරය බොළඳ දේ යැයි සිතන්නට අපට උගන්වා තිබිණි. ඒ එසේ වතුදු, ජීවිතය නම් මේ යැයි යම්තාක් දුරකට හඟින්නට තරම් හිසේ කෙස්සේ පාට මැකී ඇති අද, ආදරය නම්වූ අකුරු හතරින් සටහන් වෙන්නාවූ සිතිවිල්ල, හැඟීම, චින්තාව, මානසිකත්වය, හෝ වින්දනය තරම් අපේ ජීවිත හසුරුවන්නාවූ අන් දෙයක් නොමැත්තේය යන්න පසක් කර ගැනීම හැර මා උගත් අන් දෙයක් නැතිය සිතෙන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන ඒ හිතිවිල්ලට සාක්ෂිය.

මගේ හිතට ඉතාමත් ආදරයෙන් සමීප වූ කෙල්ලකට 1979 ජූනි දහතුන් වෙනිදා මා හමුවී කතා කරන්නට නොහොත් ‘දෙයක් කියන්නට’ වුවමනාවක් ඇතිවී තිබුණි. කොළඹ සරසවියේ ‍තර්ස්ටන් පාරේ ගේට්ටුව අද්දර සල් ගහ ලඟින් පටන් ගෙන රීඩ් මාවතේ ගේට්ටුව ලඟට එන තුරුත් මේ වැදගත් දේ කියන්නට තරම් නිවනක් ඇති තැනක් හමුවුණේ නැත. වඩාත්ම හේතුව වූයේ මේ අති වැදගත් කතාව ‘මෙහෙම බෑ, වාඩිවෙලා කියන්න ඕනි’ කතාවක් වීමයි. එදා හවස කොළම්පුර සරසවි මාතාව, ඒ මග දිග හැමතැනම ගල්වැටි, කොට බිත්ති හා ගස් යට වූ බංකු ආදියෙහි, සිය දූ පුතුන් විවිධ ඉරියව් වලින් වාඩි කරවා, අපේ මේ ඉතිහාස කතාවේ මෞලි මංගල්ලයට දායක වන්නට සිය අකමැත්ත පලකරවා සිටියාය.

නිස්කලංකයේ වාඩිවී ඔහේ බලා ඉන්නට පුළුවන් තැනක් හැටියට ඒ දිනවල මට මතක තිබුණු තැනක් වූයේ කොළඹ පුරහල ඉදිරිපිට විහාර මහදේවී උයනේ බංකුය. එක් එක් කාලවල එක් එක් වෙස් ගත්, වික්ටෝරියා පාක් ලෙස ඉපදී පහු කලෙක නිරනුමානයෙන්ම ජාතිකාලයේ හුලඟ වැදී විහාර මහදේවී උයන වූ මේ බිම්කඩ, මේ කාලය වනවිට හැත්තෑහතේ ප්‍රබෝධයෙන් ප්‍රමුදිත වී පුංචි ඩිස්නිලන්තයක් වෙන්නට පෙරුම් පුරමින් අත් පා හොලවමින් තිබිණි. සුපිරිසිඳු ප්‍රේමයේ දිය උල්පත් සොයා ගත නොහැකි වූ හෝ ඒ උල්පත් ජලයට වැඩිමනත් සැර දෙයක් හොයන්නන්ට සරණ වෙන්නට ජීවිතයේ කටුකත්වයෙන්ම උසි ගන්වන ලදුව, සැදී පැහැදී සිටි ලාලිනියෝත් ඒ වෙළඳ ගණුදෙනු සිදුවූ කැලෑ මංඩිත් එලි පෙහෙලි වී, උයන වටා වූ යකඩ වැට අළුත් කොළපාට තීන්ත තට්ටුවකින් දිදුලමින් තිබිණි. කුඩා දරුවන් අතින් අල්ලාගත් අම්මලා තාත්තලා උයන වටා රවුමට යන බබා කෝච්චියේ රවුම් ගිය කාලයකි ඒ.

රීඩ් මාවතෙන් බස් එකක එල්ලුණු අපි විහාර මහ දේවියේ බුදු රුව පසු කර අපි වෙනුවෙන්ම කැපවී මග බලා හිටි ඒ සිමෙන්ති බංකුව වෙත ලඟාවූ වෙලාව වන විට හීන් පොද වැස්සක් වැටෙමින් තිබුණි. එහෙත් අපට කුඩයක් තිබිණි. දෙන්නාම වැහෙන්නට කුඩය අල්ලන්නට වාසනාවන්ත වන තරමට මගේ උරිස් ඇගේ හිසට වඩා උස්විය.

අහන්නට ලැබෙන කතාව මොකක් වගේ වේදැයි හිතිවිල්ලක් හිතේ තිබුණ මුත්, ඒ දෙබස් ඛණ්ඩය ඒ විදිහෙන් අහන්නට ලැබේයැයි මම කවදාවත් බලාපොරොත්තු ව නොසිටියෙමි.

“ මට ඔයාව ඕනි...!”
“කොච්චර කාලෙකටද?”
“හැමදාට..ම... නෑ මැරෙණ කම්ම...!”

මෙතැනට කෙදිනකවත් මට නම් වචන වලට නැගිය නොහැකි, යන්තම් නල දතක් පෙනෙන තරමට සිනාසුණු, නිකටෙහි පෙනෙන නොපෙනෙන වලක් රැඳි හිනාවෙන ඇස් දෙකක් දිදුළන මුහුණක පිපුණු ආයාචනාත්මක බැල්මක් සටහන් විය යුතුය. වචන වල තේරුම්, විශේෂයෙන් ලිඛිත වචන වල තේරුම් සීමිතය. චිත්‍ර, චිත්‍රපට, මේ හැමදේම එහෙමය. එහෙත් යථාර්තය නම් ඇස් ඉදිරිපිට සිදුවන දේය. ඇස් ඇතුලත අප දකින්නාවූ දේය. හිත් ඇතුලත අප හඟින්නා වූ දේය.

විභාග වර්ග කීපයක් තිබේ. ටොම්බෝලා හෙවත් බින්ගෝ කාඩ් පතක ඉලක්කම් පාට කරන්නා සේ උත්තර ලියන බහුවරණ ප්‍රශ්න පත්‍ර, සියළු වැඩ, කරපු කටු වැඩ පවා අවුණා ඉදිරිපත් කලයුතු දීර්ඝ තර්ක විතර්ක හේතු නොහේතු දක්වා පිටු හත අටේ උත්තර ලිවිය යුතු රචනා ප්‍රශ්න පත්‍ර ආදී සීමිත කාලයක් තුල නියමිත තැනක වාඩිවී නියමිත වේලාවට අවසන් කලයුතු විභාගද, ප්‍රශ්න පත්‍රය ගෙදර ගෙන ගොස් සතියක් පමණ කෑමක් බීමක් නැතිව, නින්දක් විවේකයක් නැතිව, පොත් පෙරලමින් ලියමින් කුරුටු ගාමින් ඉරමින් විසි කරමින් උත්තර ලියන විභාගද තිබේ. උසාවියත් පොලිසියත් කරන්නේත් භාෂානුකූලව බැළුවොත් විභාගම වෙයි.

එකම එක ප්‍රශ්නයක් මුත් උත්තරය සංකීර්ණ වූ බැවිනුත් එක එල්ලේ වචනයකට දෙකකට පිඬු කරන්නට තරම් විෂයය හදාරා නැතැයි හිත කිව් බැවිනුත් සවිස්තරව සිතා බලා උත්තර ගොනු කරන්නට කල් ඉල්ලන්නට මට සිදුවිය.

එදා සිරිපොද වැස්සත් නිල්-කොළපාට අකුලන කුඩේ යටින් ඇවිද ගිය ගමනත්, මගේ මුහුණේ වදින නොවදින හරියේ පිපුණු ඒ සිනාවත් හිනැහෙන දෙනෙතත් තවමත් මා අසලම තිබේ. බොහෝ දේ කතා කල බව මතක මුත් මේ වැකි තුන නම් සඟුන්ට පැවරූ ගල් ගුහාවක කටාරම් කෙටූ පාඨයක් මෙන් සිතට ඇතුළුවන දොරටුව ඉහත්තාවේ ලියැවී තවමත් දිදුලයි.

කතාව එදායින් අවසන් වුනේ නැත. ප්‍රශ්නයට උත්තර හෙවීම ප්‍රශ්නය තරම්ම සංකීර්ණ වූයේ ඇගේ දෙනෙත් තුලටත් වඩා ඇගේ සිත තුලට එබී බලන්නට තරම් සමීපත්වයක් අප අතර තිබූ බැවිනි. නිදහසේ පියෑඹීමක් නොව හිත් තැලී ලේ ගලන කතාවක ආරම්භයක් වීමේ පෙර නිමිති බොහෝමයක් අපේ ජීවිත වෙත බැළුම් හෙලා බලා සිටියහ.

බටහිර වෙරලේ පෘතුගීසීන්ගේ අණසකට නතුවූ අපේ ගම් පලාත්වල බොහෝ දෙනෙක් මෙන්ම අපිදු කතෝලිකයෝ වීමු. කතෝලික ධර්මය අපට අපේ සිත් සතන් වලට පරදේශී ආගමක් නොවේ. කවුරු කොයිලෙසින් අරුත් කිව්වත් ඒ අපිමය. අ‍පේ සිරිත්ය, අපේ විරිත්ය. ඕ, දකුණේ මාතර උපන් පියෙකුටත් උඩරට බණ්ඩාරවෙල උපන් මවකටත් දාව සැදැහැවත් බෞද්ධ පවුලක කුළුඳුල් දියණියව ඉපිද සිටියාය. ජීවිතය මේ තරම් අකාරුණික වේ යැයි මම කිසිදාක නොසිතුවෙමි. එදා දවසේ, ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ පිළිබඳ චිත්ත රූප මගේ මනස පුරා පිරී ගියේය. එහෙත් අනාගතය යනු අප විසින් අපට හැකි පමණින් ගොඩනගා ගත යුත්තක් වගත් මටම මිස අන් ක‍වරෙකුටවත් උත්තර දීමට මා බැඳී නැති වගත් මම දැන සිටියෙමි.

තීරණ ගැනීමේ පහසු ක්‍රමයක් මට තිබිණි. හාෆ් ෂීට් එකක් දෙකට බෙදා ‘ඔව්’, ‘නෑ’ කියන්නට හේතු ලැයිස්තුවක් ලිවීම කොහෙන් හෝ පැමිණ පිලිවෙතක් සේ මගේ බො‍හෝ කාර්යයන් වලදී සිදුවෙමින් තිබිණි. එදා සටහනේ නෑ කියන පැත්ත ඉතා ඉක්මනින් පිරී ගියේය. එහෙත් ඒ සියල්ලට වඩා බරින් වැඩිව තරාදි කෝප්පය පිරවූ එක් හේතුවක් අනික් පැත්තේ තිබිණි.

“මට මානෙල් ඕනි”

මේ සියල්ල සැලකීමෙන් පසු හිතට එකඟව දවස් දෙකකට පසු ‘හා’ කියන්නට මට පුළුවන් වූ නමුත්, ඒ වනවිට අහිංසක‍යකුට අනවශ්‍ය ලෙස කරදර කිරීමේ කම්පාවට යටත්ව ඉල්ලීම ඉල්ලා අස් කර ගැනීමේ තීරණයක් වඩා වැදගත් වූ තැනක අනුමත වී තිබිණි.

දිනපොතේ පිටු හතර පහක් එකට අලවා වසා දමා මම සරසවියේ අවසාන විභාගයට පාඩම් කළෙමි. ඇයත් එසේ ම කලාය. ඒ කාල සීමාවේ එකිනෙකාගේ ශක්තියද ධෛර්යයද අපිම වීමු.
ප්‍රශ්නය නැවත ඇසුණේ විභාග අවසන්ව අවසාන විභාගයට පසුව මිතුරු මිතුරියන් හා එක්ව ‘මොණරතැන්න’ නරඹා ඈ ඇරලන්නට බෝඩිමට යන අතර තුර දීය.

‘කෙල්ල මට මොකද කියන්නෙ? තාමත් මාව ඕ‍නිද?’
‘ඔයා මොකද කියන්නෙ?’
‘මට නම් ඕනෙ’
‘මටත් එහෙමයි’
‘එහෙනම් හෙට වසන්තයේ දවසක්...?’

එදා කාණ්ඩය එක්වී බලන චිත්‍රපටය කුමක් විය යුතුද යන ප්‍රශ්නය මත දෙකඩ වන්නට ගිය හිතවත්කම් පිරිද්දී තිබුණේ පසුදාට සියල්ලන්ම එක්ව ‘වසන්තයේ දවසකුත්’ බලන පොරොන්දුව මතය.

සමුගන්නට කලින් මගේ අත සිඹගන්න දැයි ඈ ඇසූ මොහොතේ මා දුටු ආදරය තවමත් මම මගේ නෙත් අසලම දකිමි. එදා මෙදාතුර අපි දෙන්නා එක දිගට තුසිතයේ, සුයාමයේ සැරිසැරුවා නම් නොවේ. ඇගේ වරලස පරසතු මලින් ගවසනවා තියා හරි හමන්, මා කියන්නේ අපේම නෑ හිතවතුන් ගේ මිම්මෙන් හරිහමන් මාලයක් කරාබුවක්වත් මිලට ගත්තා මට මතකක් නැත.

ඒ එසේ වෙතත් අද මේ දවසේ මේ වචන ටික, මේ පහල ඇ‍‍විණෙන සටහන, මෙසේ දකින්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඒ මගේ හොඳකටත් වටිනාකමකටත් වඩා මට ජීවිතය ඉගැන්වූ ගුරුවර ගුරුවරියන්ගේ සමත් කමය කියා හිතන්නට මම කැමැත්තෙමි.
ඉතින් වෙන කාගෙන්ද... මා උගත්තේ ආදරය...?

-------------------------------------------------------------
ආදරෙයි තවමත් !
අද ට හරියටම අවුරුදු තිස් එකකට කලින් දවසක හැන්දෑවේ
මට වාඩි වෙන්න තැනක් හොයා දෙන්න, උදව් වෙන්න
මා එක්ක ඇවිත්
පටන් ගත් මහා දිග ගමනේ කෙළවර දකින තුරු
එදා වාගෙම ආදරෙන්
අදට ත්, මා ළඟින් ඉන්න
එදා මෙදා තුර, අපේ ජීවිත වල දැවටුණ
සතුටු සිනා රැළි වගේම දුක් කඳුළැලිත්
තුරුළු කරගෙන
මගේ මුළු ජීවි‍ෙත්ට ම
නවාතැනක්, හෙවණක් වුණ
මගේ ම ආදරණීය රන්සිරිමල්,
(ඔව්! වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම)

සිනහවමයි කඳුළත්
දුකම තමයි සතුටත්
කියන පාඩම මට කියා දී
ඔය හිතේ හැමදාට ම
ලැගුම් ගන්නට ඉඩ දුන්නාට
ආදරෙයි තවමත්
එදා වාගෙ ම නැතත්
ඊටත් ටිකක් වැඩියෙන්.......!

මානෙල්

2010.06.13

Continue Reading...

Thursday, June 8, 2017

සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

- මාලතී කල්පනා ගේ මුහුණු පොත් සටහනකි -




සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
_____________________________________
ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මගහැරුණු අකුරක් වේ නම් සොයා ගනු පිණිස ස්පර්ශ කළ හැකි වේ දැයි වරින් වර අතගා බලන නමකි. ඒ එක කවිය වරක් කියවූවොත් සිය වරකි.
සිතෙයි නම්
දොර කවුළු වසාගෙන
සිටිය යුතු යැයි
එසේ කළ මැන
මම සිටින්නෙමි
විවෘතව
උමඟ කෙළවර
එළිය ඇති තැන
අසීමිතව...
(එක කවිය සිය වරක්-2009)
කල් ඇතිව එසේ කියා තබා දෙදහස් පහළොවේ සැප්තැම්බර් මාසයේ දවසක සමර විජේසිංහ නො දන්වාම සිය දිවි නන්දිතය නිම කොට තිබුණි. ඔහුගේ අසීමිත කවි ගැන දැනෙන දෙය ලිවිය යුතුයයි බොහෝ වර සිතුවද නො ලිව්වේ ඒ තුංග කවිවලට ක්ෂුද්‍ර මාතින් අඩුවක් වෙතැයි යන බිය මිස අන් කිසිවක් නිසා නොවේ. කවි විඳිනු මිස විචාරන මගක් නො දන්නේ වන බැවින් විඳුම පමණක් මෙහි ලියා තබමි.ඔහු ලියා පළ කළ කෙටිකතා පොත් පහ ගැන මෙහි ලියන්නට මගේ මඳ දැනුම සමත් නො වූවද ඒවා අපූර්වතම වූ ශෛලියකින් සිංහල කෙටිකතාවෙහි වෙසෙස් සළකුණු සනිටුහන් කර ඇති බැව් ඒවා කියවීමෙන් සහ ඒ ගැන ලියැවී ඇති සීමිත විචාර කිහිපය කියවීමෙන් වටහා ගත හැකි වනු ඇත.
සමරගේ කවි ඉගැඹුරු දාර්ශනික මානයන්ගෙන් ජීවිතය විනිවිදින්නේ ඉතා සරළ බසකිනි. මහා අරුතක් සරළ වදන් කිහිපයක් තුළ හොවා පෙර නොවූ විරූ අපූර්වත්වයකින් නිමැවෙන ඒ කවි කියවන්නා කම්පනය කරන්නේ බලාපොරොත්තු නොවූ අයුරිනි.
සමහර නිශ්ශබ්ද රාත්‍රීවල
හැර බලමි උඩුමහල කවුළුව
අසල් වැසි ගෙවල්
සතුටින් පිරී ඇත්දැයි
ඔහුගේ කවි, චිත්තාභ්‍යන්තර හැඟීම් ද සන්තානගත දැවීම් සහ පෙරළි ද ජීවිතය යනු කුමක්දැයි ඔහු ද අපද සෙවූ සොයමින් සිටිනා දෙය ද වටහා ගැන්ම පිණිස බොහෝ වර වර ගැන්වුනේය. ඒ තුළ සීමා මායිම් නො ඇඳි ප්‍රේමයේ දහසක් මල් ද ලෝකය විසින් තනනු ලැබුවා වූ සීමා ප්‍රාකාර ද සිත්තම් වුනේ ය. අසීමිත බව ම ඔහුගේ කවියෙහි ලකුණ විය. ප්‍රේමයෙහි ද ජීවිතයෙහි ද සීමා රහිත පැතිරුණ බව මනරම්ව දකිමින් ඒ නෙක වර්ණිත චිත්‍ර සංයමයේ පින්සල් තුඩින් පෑ ගැන්වූයේ ය.
කුලක ඇත සම්මත
යෙහෙළිය පෙම්වතිය සුන්දරිය යැයි
නම් කරන ලද
ඔබ අයිති නැත කිසිවකට
සබා මැද කිව නොහැකි
බැඳීමක් ඇති මිසක
ජීවිතය නම් වූ දෙය
උරුම කළ දේය මේ අපට
______________
වැසිවලාහක
දිගු කාළ කේශිය
නුඹට එරෙහිව මම
සෙවිලි කළෙමි පියස
මනා ලෙස
ඉදින්...?
බලව
යළි තෙමනු හැකිදැයි
මා ඇතුළු සිත
ගේහසිත ජීවිතයේ ශුෂ්ක ඉම් සහ කෙම්බිම් ද බන්ධනයන්හි සොඳුරු සුඛ හා හා දුක්ඛ නිමේෂයන් සේ ම අප යා යුතුයයි නියම කරන ලද මගෙහි වගුළ සුවහසක් හලාහල පාත්‍රයන් ද ඔහුගේ කවියට ප්‍රස්තූත විය.
ආත්මාරක්ෂාවට
ආයුධ සන්නද්ධව
ආපසු ගෙදර එන විට
ඇය අත සමාවේ කඩුවය
ඉදින් මා
කුමකින් පහර දෙන්න ද
ඇයට
_______
කලක් විය අපූරුතම
ඇයට ප්‍රේම කළ
ඇයද පෙරලා ප්‍රේම කළ
හේතු අපමණ තිබිණ දෙදෙනාට
පෙම් නොකර ඉන්නට නොහැකි වුණ
ඉදින් අපි නොනැවතී පෙම් කළෙමු
දිගින් දිගටම
දිගින් දිගටම
ප්‍රේමය පැසී
ඉදී
ගිලිහී
පතිතවන තුරුම බිම
සිය තියුණු උපහාසය ඔහු තනුක කළේ පරිණත ජීවණ දැක්මේ දයා දියෙනි. කිසිවිටෙක ද්වේශසහගත නොවූ ඔහුගේ ලියවිලි මානව ප්‍රේමී වූයේ, ඉසියුම් අවබෝධයකින් යුතුව අවට ලොව යාථාර්තයන් විනිවිදින අතර ම ප්‍රශ්න කළේය. තමන් අනුදත් වෙනස් වූ මගක් විමුක්තියක් ගැන නො මසුරුව ඉඟි කළේය. ඔහු ලද සැම විටෙක භෞතික අත්පත්කර ගැනීම්හි ඇති නිශ්ඵල බව සරළ වදන් කිහිපයකින් කියා පෑවේය. ජීවිතයෙන් පලා යන කලකිරුණු දර්ශනයක් වෙනුවට සිය කවි තුළ සෞන්දර්යමය මාවතක දම් පැහැ මල් අතුරා පෙන්වාලූවේ ය.
අත්හළෙමි ගිරි තරණ
වටෙන් යා හැකි හෙයින්
එකම තැනටම ගමන නිමවෙන
පෙත් මඟකි සොඳුරුතම
වනවදුල් දියකඳුරු පසුකර යන
නැවතෙමින් තැන තැන
සිසිල වැඩි සුළඟක් පමණි
එරෙහි මා සමග
සොඳුර යළි
තරගයට නොදුවමි
ජයගතිමි මේ මඟට බට සැනම
සමරගේ කවි තුළ අපට හමුවන අනෙක් විශේෂත්වය වන්නේ ගැහැණුන් කෙරෙහි ඔහු හෙලනා දුර්ලභ සමවාදී මානවීය දෘෂ්ටිය යි. අප කාටත් ගෘහ දිවිය තුළ ද නිදහස් ශෘංගාරමය බැඳීම් තුළ ද නාමකරණය කළ නො හෙන ස්ත්රී පුරුෂ සබැඳියාවන් තුළ ද එදිනෙදා දිවියේ සියලු තන්හි හමුවන්නාවූ ද සියලු ගැහැණුන් ද මත ඔහු එළන මිත්‍රත්වයේ ද දයාවේ ද සළුව එතරම් ම උණුසුම් ය. සිළිටි ය. එය එක්තරා අයුරකින් කලාව තුළ සම්මත ශෘංගාර එළඹුම් ද ගැහැනිය විෂයෙහි ලා බහුලව හෙලූ නිෂේධනීය දෘෂ්ටීන් ද අභියෝගයට ලක් කරන්නකි.
ඉතා කුඩා විශාල වෙනස
අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
බෙහෙත් ඇත
බෙහෙත් ටිකක්වත්
බොන්නෙ නැති
ගෑනු කොහොම ද
දරාගෙන ඉන්නෙ
_________________________
පින්වත් කුමරුවෙක්
සොයයි පින් මඳ කුමරියක්
කෙටි ඇසුරකින් පසු
වෙන් වෙන්න සුදුසු
_________________________
සිතනවා ඇති මුව දෙනුන්
තරුණ විය එළඹෙත
ඉක්මනින් ගොදුරු විය යුතුයැයි
බාහු බල ඇති
වගෙකුට වළසෙකුට
ජීවිතය තුළ අප වැරෙන් බැඳෙන බොහෝ දෙය පිනි බිඳක් මෙන් දියව යා හැකි බව ඉතාසරළ ලෙස විස්මිතව කියන්නට ඔහුගේ කවිය සමත් විය. කප් සුවහසක් කල් වසන්නට මෙන් සටන් වදින තරගයට දුවන මිනිස් ජීවිත දෙස සුහද උපහාසයෙන් බලා ඔහු මෙසේ කියයි.
කළණ හා කළණ නොවනා මිතුරනි
පරම හා පරම නොවනා සතුරනි
මඳය කාලය
සිත පිරෙන්නට යහළු වී ඉන්නට හෝ විරසකව ඉන්නට
අමතකය දැන්
සිත බැඳුණ කාරණ
සිත බිඳුණ කාරණ
_____________________
කිම ලතැවෙනු
සදා ගත හැකි කොට
අති පුද්ගලික අපායක්
තමාටම
ගැලපෙන විදියට
තියෙනවා නේද
කළමනා සියල්ලම
අත ළඟම
ජනප්‍රිය විලාසිතාවාදී ඇදහිලි ද මවාපෑම් ද සියුම් උපහාසයෙන් දක්වාලූයේ සුක්ෂම අයුරිනි.
බුදුන්ගේ උස!
බිම සිටින අපට
බණ නොඇසෙන තරමට
කියවා අවසන් කරන ලද කවියකට අප ජීවිතය දෙස බලනයුරු වෙනස් කළ හැකි නම් එය කවිය ද ඉක්ම වූ ප්‍රඥාමය විස්මයකැයි සිතමි. සමර සතුවූයේ ඒ විස්මයාවහ නිර්මාණශීලීත්වයේත් බුද්ධියේත් මහිමාවයි. සියක් කවි නො කියවුව ද එකම එක කවියකින් පමණක් වුව පාඨකයා අවදි කරවන්නට සමත් ඒ කවියා නූතන කවිය තුළ සැඟව ගියේ කොතැනදැයි විපිළිසර වෙමි. කාව්‍යමය බවින් ද දාර්ශනික බවින් ද සිංහල කවි ඉතිහාසයෙහි කිසිවෙකුට නොදෙවෙනි වන සමරගේ කවියට සිදු වූ සුවිසල් ම හානිය නම් දැනුවත්ව හෝ නො දැනුවත්ව විද්‍යාර්ථීන් හා විචාරකයන් අතින් ඒවා මගහැරීයාම බව මගේ පෞද්ගලික අදහසයි. ජීවත්ව හිඳියදී ද මිය ගිය පසු ද ලොවෙන් කිසිවක් අපේක්ෂා නො කළ, ක්ෂුද්‍ර ජීවිතයක් පැතූ ඒ විසල් ආත්මයක් සහිත මිනිසාට කවුරුන් හෝ ඒ කවි වැනුව ද නැත ද ඉන් පහළ වන සොම්නසක් හෝ දොම්නසක් නැත්තේ වුව ද ඒ කවි කියවිය යුතු එයින් එළිය ලැබිය යුතු දහසක් මිනිසුන්ට මග හැරෙන දෙය සමරගේ කවියකින් එළිය දුටු අයෙකුට මිස අන් අයෙකුට වටහා ගත නොහැකි වනු ඇත.
සමරගේ නික්ම යාම නික්ම යාමක් නොවන්නේ ඔහු ඉතිරි කොට තබා ගිය ලියවිලි නිසාවෙනි. ඒවා ජීවිත දාහයෙන් වෙහෙසව එන අපටශුෂ්ක කතරක හමුවන සුනිල විල් දියක් මෙන් විටින් විට දිය දෙයි. ඔහුගේ කවි හෝ කතාවල විශේෂත්වය වන්නේ එයින් දැනුම හෝ දැනවුම අපට කාන්දුවන්නේ අප අපට ම විවෘත වන ප්‍රමාණය මත වීමයි. එකිනෙකා පරයා දුවන තරගයම ජීවිතයයි අදහන, අත්පත් කරගැනුම විමුක්තියයැයි සිතන , සිරගත කොට සිරි බැලීම ප්‍රේමය යයි නම් කරන ලෝකයක සමරගේ ඇඟිලි විදාහළ දෑතින් ද සිතුවිලි මුදාහල නිවහල් ආත්මයෙන් ද අසිරිමත් විචිත්‍ර දෑසින් ද මැවූ ඉගැඹුරු සරළ ජීවන සත්‍යය වටහා ගැනුම බහුතරයකට අසීරු වන්නේ නම් එය විස්මයක් නොවන්නේ රේස් නො දුවන සියල්ලන් උන්මත්තකයින් ලෙස හංවඩු ගැසීම අප වසන පොළව මත සාමාන්‍යකරණය වී ඇති බැවිනි.
සමරගේ කවි මිනිසුන්ට අයිතිය. කුරුඳුවත්තේ සිට කටුනායක, චාවකච්චේරිය දක්වා ජීවත් වන ස්ත්‍රීන් ද බැලේස් ක්ලබ් යන අයගේ සිට දුම්රියේ යන ,රේස් කොළ බලන අය තෙක් පිරිමින් ද , අතැඟිලි බැඳුණු නොබැඳුණ, නම් ලද නො ලද බැඳීම්වල විඳින විඳවන සිත් හිමි අය ද ඒවා කියවිය යුතුය. එයින් ලෝකය තව බිඳක් හෝ නිවෙනු ඇත. සුන්දර වනු ඇත.
මගේ රහස ඔබට කියා මින් නවතිමි. ඔබ අදින් පසු දවසක සවස අහසෙහි දම්පාට වලාකුළු අහුරක් දුටුවොත් ඒ සමර ය. ඔහුගේ දිලිසෙන පියවර ය.
දිලිසුන පියවර කීපය
අප එවා ඇත
වරක් පමණක්
මේ පොළව මත
කෙටි දුරක් ඇවිද යාමට
සතුටු වෙමි
ඒ කෙටි දුරින්
බොහෝ දුර මා පැමිණි පසු
අප එකට
දිලිසෙන පියවර කීපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ
මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කීපය ය
(කවි උපුටා ගැනීම බූන්දි වෙබ් අඩවියෙන් සහ සමර විජේසිංහගේ ෆේස්බුක් පිටුවෙනි. )
-කල්පනා ඇම්බ්‍රෝස්
08 ජුනි 2017
Continue Reading...

Blogroll

About