Tuesday, June 13, 2017

සීතල පිණි මත මල් පෙති විසිරෙන ....

Share it Please
මුහුද හැමදාම රළ නැගුවත් ඒ එකිනෙකක් එකිනෙකට වෙනස් වෙයි. ගඟ දියට ⁣මොනයම්ම අයුරකින් හෝ දෙවරක් බැසිය හැකි වුනත් එකම මුහුදු රළක් දෙවරක් නොපෑගෙතැයි මට සිතෙයි. එහෙත්අපි ඒ රළම නැවත බිඳී වැතිරෙන තුරු වෙරළ වැලි කතර දෙස බලා සිටින්නට ප්‍රියැත්තෝ වෙමු. ජීවිතය විඳිනවාය ක්යන්නේ මෙවන් වේලාවලට යැයි මම සිතමි. මේ විඳීම් නම් නැවත කියන්නට ලියන්නට ගියත් ඒ ව්දිහෙන්ම කියවෙන ලියවෙන දේය. ඉතින් මේ සටහන අපේ ඉතිහාස කතාවේ උත්පත්ති පරිච්ඡේදය මේ සිදුවීමට තිස් අට වසරක් පිරෙන අද නැවත මෙතැන මෙසේ අවුණමි. ප්‍රේමය නම් ජීවිතයම මිස අන් කිසිවක් නොවේ.





එඩ්වඩ් තිමති ජයකොඩි ගායකයෙක් ලෙස ඉදිරියට ආවේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපු‍ර වැඩ සටහනෙන් බව මගේ මතකයයි. මට මතක හැටියට මේ වැඩසටහන කාලයක් ඩී. එස්. අයි. පිබිදෙන ගායක පරපුර වී තිබිණි. ඩී. එස්. අයි කොම්පැණිය නිපදවූවේ විකුණුවේ ‘සපෝටර්’ ය. දිය ලණුව වෙනුවට ඉලාස්ටික් පටියක් යොදා තට්ටම් හරහා දුවන තවත් පටි දෙකකින් සපෝට් කල මේ පිරිමි යට ඇඳුම ඒ කාලයේ අපේ කොල්ලන් අතර ‘රට අමුඩය’ කියා ප්‍රචලිත වී තිබුණි. මේ විදිහෙන් එදා අද ගැන හිතන විට ගායකයින් ගායිකාවන් දොරට වැඩීමේ කර්තව්‍යයෙහි මහ වෙනසක් සිදුවී තිබේද යන්න පිළිබඳව සියුම් සැකයකුත් හිතේ ‍කොඳුරයි.

එඩ්වඩ් අපූර්ව ගායන කුසලතාවයකින් තරුණ අපේ සිත් සතන් ඇද බැඳගත්තෙක් වීමට වැඩි කලක් ගත නොවී යැයි සිතමි. හැත්තෑව දශකයේ අග භාගය පමණදී එඩ්වඩ් හඳුනා ගන්නටත් යම් දුරකට ඇසුරු කරන්නටත්, අදටත්, ලඟින්ම නොවුනත්, හිතවතෙක් යැයි කියන්නට පුළුවන් හිතවත් කමක් තියාගන්නටත් තරම් ඒ හමුවීම දුර ගෙන යන්නටත් ලැබීම සතුටකි.

මේ සතුට නිරනුමානයෙන් සිතට ගෙනෙන ඉහත පද පේලිය මගේ සිතට සමීප වූ සිදුවීම් අදට අවුරුදු තිස් එකක් පරණය. එහෙත් තවමත් සුවඳය. සිංදුවේ කියැවෙන්නා වගේම මේකත් පෙරුම් පුරා පෙරුම් පුරා කල හමුවීමක කතාවක්ම විය යුතුය. පෙර ආත්ම ගැන කියන්නට තියා මේ ආත්මයේ සිදුවීම් වටහා ගන්නට තරම්වත් හිත දියුණු කර නැති බැවින් පෙරුම් පිරුවාය කියන හිතිවිල්ල මිස මොන ආකාරයකින් ඒ ක්‍රියාව සිදුවුණාද කියන්නට නම් නොහැකියි.

ඉතිහාසය නම් අපට අපේ ජීවිතම වෙයි. රට කරවූ රජුන්ගේ සාහසික කම්, ආලවට්ටම් සහිතව ලියා තබන්නාවූ පොත් ඉතිහාසය ලෙස කටපාඩම් කරවූ අපට අපේ ඉතිහාසය අප දන්නා දුටු ලෙසින් ලියන්නට කාලයකි මේ. ඉතින් වයිවාරන්න කතා වලින් අන්තර් ‘ජංජාලය’ (මේ වචනයත් ඇහිඳ ගත්තේ ජංජාලයෙන් මයි) හැඩ කරන සිංහල ලියන්නන්ගේ කතා අතරට අපේ කතාවත් එකතු කරන්නට අද දවස හොඳයැයි අද උදේ මට ලැබුණු ඊ මේල් පණිවිඩයක් මතක් කර දුනි. දහසකුත් කතා අතර තවත් එක කතාවක් සිද්ධියක් හෝ තලත්තෑනි යුවලකගේ පරණ පෙම් හෑල්ලක් ලෙසම පමණක් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් නමුත්, මේ කතාව අද දවසේ අපට, එක්ටැම්ගෙයි ගැබ්බර වූ උන්මාද චිත්‍රාගේ ත් පඬු අබාගේත් පුළුල් තිර කතාවට වඩා හිතට සමීපය. ආදරණීයය.

මේ සටහන සාහිත්‍ය කෘතියක් ‍නොවේ. බොළඳ පෙම් කතාවක ජවනිකාවක් සේත් ‍දකින්නට හැකි මුත් ඒ බොළඳත්වය තුල සැඟවුණු අව්‍යාජ ගැඹුරක් මම දකිමි. එසේ වන්නේ මේ සටහනට පාදක වන වකවානුවත් අපේ ජීවන පසුබිමත් එක්කර සසඳන කල; අපේ ජීවිත පිළිබඳව තීරණ ගැනීමට, වගකීමකින් යුතුව තීරණ ගැනීමට, අපට ඇති අයිතිය අප විසින්ම සාක්ෂාත් කරගැනීමත්, ඒ තීරණ විසින් වෙනස් කරනු ලබන්නාවූද අනාගතය නම්වූ සොඳුරු නමකින් හඳුන්වන්නාවූද කාලාන්තරය දෙස එඩිතරව බලන්නට අපට තිබූ හැකියාව අවබෝධ කර ගැනීමත්; මේ මහා විශ්වයේ සිදුවීම් අතර අල්පේච්ඡය වූ මේ සිදුවීම තුලින් පිළිබිඹු වන බැවිනි.

කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ අප කුඩා කාලයේ බොළඳ නවකතාවක් විය. අනතුරුව කුමාර කරුණාරත්න ලියු කතා පුස්ථකාල වලට වැද්ද නොගන්නා බාල කථා විය. එංගලන්තයේ නාඩගම් කාරයෙක් වූ ෂේක්ස්පියර් ගේ ‍රෝමියෝ ජුලියට් අග්‍රගණ්‍ය පෙම් කතාවක් වන විටත් අපේම ඉතිහාසය අලලා ලියැවුණු ‘රෝහිණී’ වැනි කෘති පාඩම් පොතක් තරමට ඉහල යනවිටත් අපේ ලෝකයේ අපේම කොළු කෙල්ලන් අතර ආදරය දළු ලෑ ලියලූ ආකාරය බොළඳ දේ යැයි සිතන්නට අපට උගන්වා තිබිණි. ඒ එසේ වතුදු, ජීවිතය නම් මේ යැයි යම්තාක් දුරකට හඟින්නට තරම් හිසේ කෙස්සේ පාට මැකී ඇති අද, ආදරය නම්වූ අකුරු හතරින් සටහන් වෙන්නාවූ සිතිවිල්ල, හැඟීම, චින්තාව, මානසිකත්වය, හෝ වින්දනය තරම් අපේ ජීවිත හසුරුවන්නාවූ අන් දෙයක් නොමැත්තේය යන්න පසක් කර ගැනීම හැර මා උගත් අන් දෙයක් නැතිය සිතෙන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන ඒ හිතිවිල්ලට සාක්ෂිය.

මගේ හිතට ඉතාමත් ආදරයෙන් සමීප වූ කෙල්ලකට 1979 ජූනි දහතුන් වෙනිදා මා හමුවී කතා කරන්නට නොහොත් ‘දෙයක් කියන්නට’ වුවමනාවක් ඇතිවී තිබුණි. කොළඹ සරසවියේ ‍තර්ස්ටන් පාරේ ගේට්ටුව අද්දර සල් ගහ ලඟින් පටන් ගෙන රීඩ් මාවතේ ගේට්ටුව ලඟට එන තුරුත් මේ වැදගත් දේ කියන්නට තරම් නිවනක් ඇති තැනක් හමුවුණේ නැත. වඩාත්ම හේතුව වූයේ මේ අති වැදගත් කතාව ‘මෙහෙම බෑ, වාඩිවෙලා කියන්න ඕනි’ කතාවක් වීමයි. එදා හවස කොළම්පුර සරසවි මාතාව, ඒ මග දිග හැමතැනම ගල්වැටි, කොට බිත්ති හා ගස් යට වූ බංකු ආදියෙහි, සිය දූ පුතුන් විවිධ ඉරියව් වලින් වාඩි කරවා, අපේ මේ ඉතිහාස කතාවේ මෞලි මංගල්ලයට දායක වන්නට සිය අකමැත්ත පලකරවා සිටියාය.

නිස්කලංකයේ වාඩිවී ඔහේ බලා ඉන්නට පුළුවන් තැනක් හැටියට ඒ දිනවල මට මතක තිබුණු තැනක් වූයේ කොළඹ පුරහල ඉදිරිපිට විහාර මහදේවී උයනේ බංකුය. එක් එක් කාලවල එක් එක් වෙස් ගත්, වික්ටෝරියා පාක් ලෙස ඉපදී පහු කලෙක නිරනුමානයෙන්ම ජාතිකාලයේ හුලඟ වැදී විහාර මහදේවී උයන වූ මේ බිම්කඩ, මේ කාලය වනවිට හැත්තෑහතේ ප්‍රබෝධයෙන් ප්‍රමුදිත වී පුංචි ඩිස්නිලන්තයක් වෙන්නට පෙරුම් පුරමින් අත් පා හොලවමින් තිබිණි. සුපිරිසිඳු ප්‍රේමයේ දිය උල්පත් සොයා ගත නොහැකි වූ හෝ ඒ උල්පත් ජලයට වැඩිමනත් සැර දෙයක් හොයන්නන්ට සරණ වෙන්නට ජීවිතයේ කටුකත්වයෙන්ම උසි ගන්වන ලදුව, සැදී පැහැදී සිටි ලාලිනියෝත් ඒ වෙළඳ ගණුදෙනු සිදුවූ කැලෑ මංඩිත් එලි පෙහෙලි වී, උයන වටා වූ යකඩ වැට අළුත් කොළපාට තීන්ත තට්ටුවකින් දිදුලමින් තිබිණි. කුඩා දරුවන් අතින් අල්ලාගත් අම්මලා තාත්තලා උයන වටා රවුමට යන බබා කෝච්චියේ රවුම් ගිය කාලයකි ඒ.

රීඩ් මාවතෙන් බස් එකක එල්ලුණු අපි විහාර මහ දේවියේ බුදු රුව පසු කර අපි වෙනුවෙන්ම කැපවී මග බලා හිටි ඒ සිමෙන්ති බංකුව වෙත ලඟාවූ වෙලාව වන විට හීන් පොද වැස්සක් වැටෙමින් තිබුණි. එහෙත් අපට කුඩයක් තිබිණි. දෙන්නාම වැහෙන්නට කුඩය අල්ලන්නට වාසනාවන්ත වන තරමට මගේ උරිස් ඇගේ හිසට වඩා උස්විය.

අහන්නට ලැබෙන කතාව මොකක් වගේ වේදැයි හිතිවිල්ලක් හිතේ තිබුණ මුත්, ඒ දෙබස් ඛණ්ඩය ඒ විදිහෙන් අහන්නට ලැබේයැයි මම කවදාවත් බලාපොරොත්තු ව නොසිටියෙමි.

“ මට ඔයාව ඕනි...!”
“කොච්චර කාලෙකටද?”
“හැමදාට..ම... නෑ මැරෙණ කම්ම...!”

මෙතැනට කෙදිනකවත් මට නම් වචන වලට නැගිය නොහැකි, යන්තම් නල දතක් පෙනෙන තරමට සිනාසුණු, නිකටෙහි පෙනෙන නොපෙනෙන වලක් රැඳි හිනාවෙන ඇස් දෙකක් දිදුළන මුහුණක පිපුණු ආයාචනාත්මක බැල්මක් සටහන් විය යුතුය. වචන වල තේරුම්, විශේෂයෙන් ලිඛිත වචන වල තේරුම් සීමිතය. චිත්‍ර, චිත්‍රපට, මේ හැමදේම එහෙමය. එහෙත් යථාර්තය නම් ඇස් ඉදිරිපිට සිදුවන දේය. ඇස් ඇතුලත අප දකින්නාවූ දේය. හිත් ඇතුලත අප හඟින්නා වූ දේය.

විභාග වර්ග කීපයක් තිබේ. ටොම්බෝලා හෙවත් බින්ගෝ කාඩ් පතක ඉලක්කම් පාට කරන්නා සේ උත්තර ලියන බහුවරණ ප්‍රශ්න පත්‍ර, සියළු වැඩ, කරපු කටු වැඩ පවා අවුණා ඉදිරිපත් කලයුතු දීර්ඝ තර්ක විතර්ක හේතු නොහේතු දක්වා පිටු හත අටේ උත්තර ලිවිය යුතු රචනා ප්‍රශ්න පත්‍ර ආදී සීමිත කාලයක් තුල නියමිත තැනක වාඩිවී නියමිත වේලාවට අවසන් කලයුතු විභාගද, ප්‍රශ්න පත්‍රය ගෙදර ගෙන ගොස් සතියක් පමණ කෑමක් බීමක් නැතිව, නින්දක් විවේකයක් නැතිව, පොත් පෙරලමින් ලියමින් කුරුටු ගාමින් ඉරමින් විසි කරමින් උත්තර ලියන විභාගද තිබේ. උසාවියත් පොලිසියත් කරන්නේත් භාෂානුකූලව බැළුවොත් විභාගම වෙයි.

එකම එක ප්‍රශ්නයක් මුත් උත්තරය සංකීර්ණ වූ බැවිනුත් එක එල්ලේ වචනයකට දෙකකට පිඬු කරන්නට තරම් විෂයය හදාරා නැතැයි හිත කිව් බැවිනුත් සවිස්තරව සිතා බලා උත්තර ගොනු කරන්නට කල් ඉල්ලන්නට මට සිදුවිය.

එදා සිරිපොද වැස්සත් නිල්-කොළපාට අකුලන කුඩේ යටින් ඇවිද ගිය ගමනත්, මගේ මුහුණේ වදින නොවදින හරියේ පිපුණු ඒ සිනාවත් හිනැහෙන දෙනෙතත් තවමත් මා අසලම තිබේ. බොහෝ දේ කතා කල බව මතක මුත් මේ වැකි තුන නම් සඟුන්ට පැවරූ ගල් ගුහාවක කටාරම් කෙටූ පාඨයක් මෙන් සිතට ඇතුළුවන දොරටුව ඉහත්තාවේ ලියැවී තවමත් දිදුලයි.

කතාව එදායින් අවසන් වුනේ නැත. ප්‍රශ්නයට උත්තර හෙවීම ප්‍රශ්නය තරම්ම සංකීර්ණ වූයේ ඇගේ දෙනෙත් තුලටත් වඩා ඇගේ සිත තුලට එබී බලන්නට තරම් සමීපත්වයක් අප අතර තිබූ බැවිනි. නිදහසේ පියෑඹීමක් නොව හිත් තැලී ලේ ගලන කතාවක ආරම්භයක් වීමේ පෙර නිමිති බොහෝමයක් අපේ ජීවිත වෙත බැළුම් හෙලා බලා සිටියහ.

බටහිර වෙරලේ පෘතුගීසීන්ගේ අණසකට නතුවූ අපේ ගම් පලාත්වල බොහෝ දෙනෙක් මෙන්ම අපිදු කතෝලිකයෝ වීමු. කතෝලික ධර්මය අපට අපේ සිත් සතන් වලට පරදේශී ආගමක් නොවේ. කවුරු කොයිලෙසින් අරුත් කිව්වත් ඒ අපිමය. අ‍පේ සිරිත්ය, අපේ විරිත්ය. ඕ, දකුණේ මාතර උපන් පියෙකුටත් උඩරට බණ්ඩාරවෙල උපන් මවකටත් දාව සැදැහැවත් බෞද්ධ පවුලක කුළුඳුල් දියණියව ඉපිද සිටියාය. ජීවිතය මේ තරම් අකාරුණික වේ යැයි මම කිසිදාක නොසිතුවෙමි. එදා දවසේ, ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ පිළිබඳ චිත්ත රූප මගේ මනස පුරා පිරී ගියේය. එහෙත් අනාගතය යනු අප විසින් අපට හැකි පමණින් ගොඩනගා ගත යුත්තක් වගත් මටම මිස අන් ක‍වරෙකුටවත් උත්තර දීමට මා බැඳී නැති වගත් මම දැන සිටියෙමි.

තීරණ ගැනීමේ පහසු ක්‍රමයක් මට තිබිණි. හාෆ් ෂීට් එකක් දෙකට බෙදා ‘ඔව්’, ‘නෑ’ කියන්නට හේතු ලැයිස්තුවක් ලිවීම කොහෙන් හෝ පැමිණ පිලිවෙතක් සේ මගේ බො‍හෝ කාර්යයන් වලදී සිදුවෙමින් තිබිණි. එදා සටහනේ නෑ කියන පැත්ත ඉතා ඉක්මනින් පිරී ගියේය. එහෙත් ඒ සියල්ලට වඩා බරින් වැඩිව තරාදි කෝප්පය පිරවූ එක් හේතුවක් අනික් පැත්තේ තිබිණි.

“මට මානෙල් ඕනි”

මේ සියල්ල සැලකීමෙන් පසු හිතට එකඟව දවස් දෙකකට පසු ‘හා’ කියන්නට මට පුළුවන් වූ නමුත්, ඒ වනවිට අහිංසක‍යකුට අනවශ්‍ය ලෙස කරදර කිරීමේ කම්පාවට යටත්ව ඉල්ලීම ඉල්ලා අස් කර ගැනීමේ තීරණයක් වඩා වැදගත් වූ තැනක අනුමත වී තිබිණි.

දිනපොතේ පිටු හතර පහක් එකට අලවා වසා දමා මම සරසවියේ අවසාන විභාගයට පාඩම් කළෙමි. ඇයත් එසේ ම කලාය. ඒ කාල සීමාවේ එකිනෙකාගේ ශක්තියද ධෛර්යයද අපිම වීමු.
ප්‍රශ්නය නැවත ඇසුණේ විභාග අවසන්ව අවසාන විභාගයට පසුව මිතුරු මිතුරියන් හා එක්ව ‘මොණරතැන්න’ නරඹා ඈ ඇරලන්නට බෝඩිමට යන අතර තුර දීය.

‘කෙල්ල මට මොකද කියන්නෙ? තාමත් මාව ඕ‍නිද?’
‘ඔයා මොකද කියන්නෙ?’
‘මට නම් ඕනෙ’
‘මටත් එහෙමයි’
‘එහෙනම් හෙට වසන්තයේ දවසක්...?’

එදා කාණ්ඩය එක්වී බලන චිත්‍රපටය කුමක් විය යුතුද යන ප්‍රශ්නය මත දෙකඩ වන්නට ගිය හිතවත්කම් පිරිද්දී තිබුණේ පසුදාට සියල්ලන්ම එක්ව ‘වසන්තයේ දවසකුත්’ බලන පොරොන්දුව මතය.

සමුගන්නට කලින් මගේ අත සිඹගන්න දැයි ඈ ඇසූ මොහොතේ මා දුටු ආදරය තවමත් මම මගේ නෙත් අසලම දකිමි. එදා මෙදාතුර අපි දෙන්නා එක දිගට තුසිතයේ, සුයාමයේ සැරිසැරුවා නම් නොවේ. ඇගේ වරලස පරසතු මලින් ගවසනවා තියා හරි හමන්, මා කියන්නේ අපේම නෑ හිතවතුන් ගේ මිම්මෙන් හරිහමන් මාලයක් කරාබුවක්වත් මිලට ගත්තා මට මතකක් නැත.

ඒ එසේ වෙතත් අද මේ දවසේ මේ වචන ටික, මේ පහල ඇ‍‍විණෙන සටහන, මෙසේ දකින්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඒ මගේ හොඳකටත් වටිනාකමකටත් වඩා මට ජීවිතය ඉගැන්වූ ගුරුවර ගුරුවරියන්ගේ සමත් කමය කියා හිතන්නට මම කැමැත්තෙමි.
ඉතින් වෙන කාගෙන්ද... මා උගත්තේ ආදරය...?

-------------------------------------------------------------
ආදරෙයි තවමත් !
අද ට හරියටම අවුරුදු තිස් එකකට කලින් දවසක හැන්දෑවේ
මට වාඩි වෙන්න තැනක් හොයා දෙන්න, උදව් වෙන්න
මා එක්ක ඇවිත්
පටන් ගත් මහා දිග ගමනේ කෙළවර දකින තුරු
එදා වාගෙම ආදරෙන්
අදට ත්, මා ළඟින් ඉන්න
එදා මෙදා තුර, අපේ ජීවිත වල දැවටුණ
සතුටු සිනා රැළි වගේම දුක් කඳුළැලිත්
තුරුළු කරගෙන
මගේ මුළු ජීවි‍ෙත්ට ම
නවාතැනක්, හෙවණක් වුණ
මගේ ම ආදරණීය රන්සිරිමල්,
(ඔව්! වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම)

සිනහවමයි කඳුළත්
දුකම තමයි සතුටත්
කියන පාඩම මට කියා දී
ඔය හිතේ හැමදාට ම
ලැගුම් ගන්නට ඉඩ දුන්නාට
ආදරෙයි තවමත්
එදා වාගෙ ම නැතත්
ඊටත් ටිකක් වැඩියෙන්.......!

මානෙල්

2010.06.13

8 comments:

  1. කඳුළුත් ආවා... ලස්සන ආදර කතාව... ආදරෙයි ඔය දෙන්නාටම...

    ReplyDelete
  2. ඇඬුණා බොස් අවංකව ම ඇඬුණා!

    ReplyDelete
  3. /* මගේ මුහුණේ වදින නොවදින හරියේ පිපුණු ඒ සිනාවත් */

    Check again!

    එහෙනං කොල්ලා බෙල්ල නවාගෙන යන්න ඇත්තේ කුඩේ යටින්!

    ReplyDelete
  4. කොළඹ විවියේ 1967-71 උගත් අයෙකු ලියූ නවකතාවක විශ්වවිද්‍යාල යුවලක් විහාරමාහා දේවී උද්‍යානයේ ලව් කරන අවස්ථාවක් කියවෙනවා. මා නම් එය අද වෙනතුරු විශ්වාස කළේ නෑ.

    හැබැයි උන් දෙන්නා, ඊළඟ ලෙක්චර් එකට ආපසු විවියට යනවා!

    ReplyDelete
  5. ඇසට කඳුළු ගෙනෙන හරිම ආදරණීය සටහනක්.

    ReplyDelete
  6. //ආදරෙයි තවමත්
    එදා වාගෙ ම නැතත්
    ඊටත් ටිකක් වැඩියෙන්//

    හරිම අපුරු ආදර වෘතාන්තයක්.කතා කරන "ලොකු"අකුරු.

    ReplyDelete
  7. අහම්බෙන් වගේ මේක කියවන්න ලැබුනේ. ලස්සනයි ප්‍රේමකතාව. දෙන්නම යාලුවෝ උනාට මේ හරිය දන්නෙ නැහැනේ

    ReplyDelete

Blogroll

About