Tuesday, October 31, 2017

පියාඹන හඳ



පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා
හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද?

රතු පාට කහපාට 
මල් පිපෙණ දවාලේ
හැංගිලා හොරකමට 
වහං වී ඉන්නවා...

ගොම්මනේ පාට හත 
දියවෙද්දි ලුණු වතුරෙ
මෙන්න ඇවිදන් ඇවිත්
සුදුම සුදු මල් පොකුරු 
මගෙ අතේ තියනවා...

පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා
හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද?

සැප්තැම්බර 12, 2014
පින්තූරය - https://www.warrenphotographic.co.uk/03421-geese-flying-past-the-moon
Continue Reading...

Monday, October 30, 2017

කින්නර ගීතය




ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඔබේ
ප්‍රේම ගීතය
කින්නරාවියනේ...

උච්ච ස්වරයෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ
අන්ධකාරයේ ස්වර සත ගලගා
කණට නෑසෙන උච්ච සරයෙන්
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

තාරකා මල් ගෙල සිඳී
ලේ ගලා මියැදුනු රැයේ
වාලුකා තල සැඩ සුලං වැද ගිනි දවා
ගලන්නට ලෝ දිය ගඟක් වී
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

කණට නෑසෙන උච්ච සරයේ
තියුණු හී යෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඉතින්...
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...



December 24, 2009 
Continue Reading...

Sunday, October 29, 2017

තාත්තා....




"උදාසන හදිසියේම වාගේ මම අවදිවීමි. ජනේල වීදුරු සඳ එළියෙන් බබලයි. අඳුර කාමරයේ අහුමුළුවල සැඟවී සිටී. කාලාන්තරයක් යැයි හැ‍‍ඟෙන කාලයකට පසුව මම කල්පාන්තරයක් තිස්සේ හුරු පුරුදු වූ ස්ථානයක සිටින්නේ ය යන හැඟීම දිය බුබුලකින්  මතුවන ජලය සේ ගලාවිත් සිත පුරවා ගනී. ඒ සිතිවිල්ල සිසිලසක් සැනසීමක් සමගම අව්‍යාජ වූ සතුටක් සිතට ගෙනෙයි.

කණ්ණාඩි මේසය ලඟ තාත්තා ජාතික බැනියම හැඳ, කොණ්ඩය පීරන බව මට පෙනේ. තාත්තා මිය ගොස් අවුරුදු අටකට වඩා වුව ද මේ ගෙදර ගැන තවමත් තාත්තාගෙන් තොරව සිතන්නට මගේ සිත ඉඩ නොදෙයි.

මම කණ්නාඩි මේසය අසල ජනේලය හැර සඳ එළිය ගලාගිය පරිසරය දෙස බලමි. මිදුල කෙලවර වූ අඹගස් තුන‍ෙන් දෙකක් ම කපා දමා ඇත. ඒ හිඩැස තුලින් මහපාර පෙනේ. හැම දෙයක්ම හැකිලී කුඩාවී ඇති සෙයකි. අහසේ තරු පන්ති නිද්‍රාවෙන් දිදුලයි. පිරෙන්නට තතනන සඳ අසල සිකුරු තරුව පහන් සිළුවක් සේ අචලව රැඳී සිටියි.

මට මානෙලුත් ඇගේ අවිහිංසක ආදරයත් මතක් වෙයි. ඈ අසල මා විඳින සතුටත්, ඇගේ මුහුණ බලා මා ලබන සැනසුමත් සඳ එළිය සේ මා වටා දැවටී සිටී. මගේ ජීවිතය සදාකාලික නිරීක්ෂණයක්ය යන හැඟීම තදින්ම නැගී එයි. එතෙක් මෙතෙක් මා හඹාගිය බලාපොරොත්තුවක් නැතිය යන්නත්, එතෙක් මෙතෙක් මා සාක්ෂාත් කරගත් අපේක්ෂාවක් නැතිය යන්නත්, සිත පුරා නැගී එයි. මා ලද සෑම දෙයක්ම පාහේ මා ලද, මට දෙන ලද දේවල් මිස, යම් යම් අවස්ථාවල ඉත සිතින් පැතූ නමුදු, හඹා ගොස් සතුරු සෙන් පරදවා අත්පත් කරගත්තා වූ දේවල් නොවන බව මම දකිමි.

සංචාරකයකු සේ, ඊටත් වඩා හොඳින් කිවහොත් වනාන්තරය හරහා ඇවිද යන්නා වූ වැද්දකු සේ, මැකී ගිය දඩ මං හි තිසා හෝ සුදු වැද්දා හි එන වැදි යුවල සේ හෝ හමුවන සෑම ගහ කොලකම හැඩ රුව බලමින් අයාල‍යේ ඇවිද යන පුද්ගලයෙක්  සේ මා මට පෙනේ. දකින හැම දසුනකම පසුපස යමක් දකින්නටත් ඒ හැම දසුනකින්ම වින්දනයක් විඳින්නටත් හැකියාවක් මට ඇතිය යන්න මට පසක් වෙයි.

මම ජනේලය ලඟ සිට ගෙන දෑත් ලයේ බැඳ කල්පනා කරමින් සිටිමි. වෙලාව පාන්දර තුනටත් හතරටත් අතර විය යුතුය. මේ ඉරියව්වෙන්ම තාත්තා කල්පනා කරමින් සිටින ආකාරය මට මතක් වෙයි. තාත්තා ත් මා මෙන්ම ජීවිතය ගැනත්, තාත්තා ගැනත්, සිතන්නට ඇතිය යන්න හදිසියේ දැල්වුණු පහනක් සේ සිත පුරවාලයි.

මම ජනේලය ලඟින් මෑත් වී කණ්නාඩි මේසය ඉදිරිපස සිට ගනිමි. කණ්නාඩියෙන් මගේම පිළිබිඹුව මට පෙනේ. අඩ අඳුර නිසා අග පසඟ සවිස්තරව නොපෙනෙන නමුදු ප්‍රමාණයෙන් හා ආකාරයෙන් තාත්තාට සමීප වූවකු ගේ හැඩරුව මම දකිමි. තාත්තා යම් යම් ආකාර වලින් මා තුල ද ජීවත් වන්නේ ය යන හැඟීම සිතට නැගේ. සදා සම්පූර්ණ නොවුව ද සියයට සියයක්ම නොගැලපුන ද  මට දැනෙන තාත්තා ගේ සමීපත්වය මා තුළම රැඳුනු දෙයක් මිස, අදුෘශ්‍යමානව තාත්තා මා අසල සිටීමක් න‍ොවන බව මට තේරුම් යයි. කුඩා කල සිට තාත්තා කල කී බොහෝ දේවල් බලා සිටීමෙන් මා උකහාගත් මතක සම්භාරය තුලින්, මා තුලින්ම මතුවන්නා වූ දෙයින් මිස අදිසි බලවේගයක් විසින් තාත්තා පිළිබඳ සිතිවිලි මගේ සිතට නොසපයන වග මම පසක් කරමි. යමක් සාක්ෂාත් කර ගත්තෙමිය, යමක් උගත්තෙමිය යන නිදහස් හැඟීමක්, අපේක්ෂා පූර්ණ වූ හැඟීමක්  හිත වසා ගනී. මලවුන් ජීවත්වන්නේ මලවුන් අතර නොව ජීවත්වන මිනිසුන් තුලය යන්න මම හඟිමි."

1997 ජනවාරි 26 දා පාන්දර පහට වෙන්නප්පුවේ ගෙදර දී.
Continue Reading...

සුබ උපන්දිනයක්.....!


තාත්තලා දැකීම තාත්තලාට සතුටකි.
සුබ උපන් දිනයක් මියුරු පුතා.




Continue Reading...

Friday, October 27, 2017

රතු සේද....!



දණ ගගා ලපැටි දඬු මත
ලෑටි ගා මල් බෙරි කොල
තැනූ දා සුසිනිදු නූල් ඇද
සංක්‍රාන්ති කෝෂය
තටුගසා ඉගිලෙන 
දවස ගැන හිතිවිලි
පණ ගසා පිපෙන්නට ඇති
පට පණු සිතේ පතුලක....

පියාඹන ජීවිතය
සොයා තැනු සේද නූලම

ලියා ඇත මරණයේ
අවසාන සහතිකය


බුබුළුලන දඟලන
උණු දිය කටාරම තුල

දියව ගිය නිදහසේ
අවසාන මුණු මුණුව


තටු සලන කොඩියක
රතු සේද නූලක්ව
නැගි නැගී අහසට

ගයයි රණ ගී උන්මාදයෙන්...

ගෑවී තියේ නේද
උණු දියෙන් ගෙල සි
ඳි
පට පණුවකුගෙ ලේ බිඳක්
ඔය ධජය වියා ඇති

හැම සේද නූලකම?
Continue Reading...

Wednesday, October 25, 2017

මගේ සිහිනය


මගේ සිහිනය

POSTED BY KOOMBIYA 4.16.2008 
මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක් වගේ හැඟීමක්. අනික අය ද ඒ ගැන මට නිතර අවවාද කලා. හීන නැති නිසා හොඳින් නින්ද ගිය නමුත් අනික් උන් පෙරදා රැයේ දුටු හීන ගැන දොඩද්දී මම කොන් වුනා. මම ලතැවුල්ලේන් වගේ බෝඩිමෙන් පිට වෙලා ඇවිද ගෙන ගියා. මගෙ අරමුණ වුනේ කෙසේ හෝ හීනයක් දැකීම.

එදා මහ පාරෙදි අහම්බෙන් වගේ් මට හීනයක් මුණ ගැසුනා.

නිවි නිවී දැල්වෙන දෑසක් ද, අක් බමරු කෙහෙ-වරලක් ද තිබූ ඒ දිව්‍යමය හීනය මම බෝඩිමට අරන් ගියා. මගෙ ලොකර් එකේ තිබුණු හිස් වීවා බෝතලේක දාලා මම ඒ හීනය ඇති දැඩි කළා. එදා ඉඳන් හැම දවසකම අනික් එවුන්ට හොරෙන් මම එ් හීනය එළියට අරන් එ්කෙ නළල ඉඹලා නිදිය ගත්තෙ. දවසක් මම නිදි අතරෙ බෝතලේ මූඩිය එයාම ඇරගෙන එයා මගෙ ඔලූවට රිංගුවා. මෙන්න යකඩෝ එදා ඉඳන් මටත් හීන පේනවා....! මම සතුටින් උදම් වුනා.

හැබැයි මගෙ හීනෙ අනික් එවුන්ගෙ ඒවා වගේ නෙමෙයි. සැහැල්ලූයි. පුදුම සැහැල්ලූයි. කොච්චර සැහැල්ලූ ද කියනවනම් මම ඒක පෙනෙද්දී ඇඳෙන් අඟල් දෙක තුනක් උඩට ඇවිත් පාවෙන්න ගත්තා. මේක දිගින් දිගටම උණා.

මේක බලන් හිටපු මැරිච්ච නිව්ටන් මගෙ හීනෙට බලන් ඇතුල් වුනා.

”උඹ හින්දා ගුරුත්වාකර්ෂණ නියමයට කෙළවෙනවා මිනිහෝ...!” කියලා එයා ලොකුම ලොකු කාර් එකකුයි ගෙයකුයි ඉඩමකුයි මගෙ හීනය උඩින් තිබ්බා. ඒ බරට ඇඳ කඩාගෙන මමයි හීනයයි බිම වැටුනා. මට ඇහැරුණා. මම දුවලා ගිහින් බෝතලේ බැලූවා. ඒක ඇතුළේ හිස්. එ වෙනුවට රවුම් අත් අකුරු තිබ්බ ලියුමක් තිබුණා.

”උඹ නිව්ටන් එක්ක මකබෑවියං... මම යනවා”

-කූඹියා

Continue Reading...

Sunday, October 22, 2017

හිත ඇත්නම් පත කුඩා ද?


කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ.

මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ පත ලොකුකර ගැනීමේ හිත නැත්තං අභිප්‍රාය මිස, ලොකු පතක් ගැන උදේ හවා හූල්ලමින් දකින මනෝමූලික හීනයක් නොවේ. කොයි වලේ මෙන්ම මේ වලේත් ලේසියෙන්ම වැටෙන්නේ, දා හත දහාට වයසේ පොත්තෙන් ඇටය බේරෙන, පෙති දෙපෙති බේරෙන නාඹර තරුණ හිත් ය. මේකට ප්‍රධාන හේතුව මට හිතෙන හැටියට නං, අපටත් හිතක් තියනවාය යන්න හරියාකාරව සිග්නල් වෙන්නේ මේ වයසේ දී නිසාය. ඉතින් හිත ඇත්තං පත කුඩා නොවෙන්නේ කෝම ද?

මගේ ඔය සමය උදාවෙන්නේ මේ හෑල්ල කියවන බොහෝ දෙනෙක්ට වාගේ ම, උසස්පෙළ තරණය කරලා කොළඹ සරසවි ආ කාල වකවානුවේ ය. අර හිත හා පත මෙන්ම, ගෙදරින් ඇවිත් නවාතැනක නැවතී, තමුන්ගේම ජීවිතයක්, මං කියන්නේ එක්තරා අන්දමකට තමුන්ගේම ජීවිතයක්, ඇරඹීමේ නිදහසත් එකතු වුණාම, අර හිතත් පතත් පුරා නා නා ප්‍රකාර බිතු සිතුවම් මතුවී පෙනෙන්නට ගනී.

මේ ලියන්නේත් කලින් දවසක ලියූ 'අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා' වූ මං ගැනම ය. නැටුං සර්ගේ පාරුවේ පුවක් නිසා, එදා පාරු කවිය පිඹ ගන්නට බැරිවුනත්, හිත ඇත්නං පත කුඩාද අනුව යමින්, මගේ මේ හිල් බටයේ සංගීතය හොයා සැරි සැරීමේ කාරිය නම් නැවතුනේ නැත. ජයකොඩි සර්, සංධවනියෙන් පසු අපට සිංදු වලට මියුසික් පුරුදු කිරීමේ කාරියකුත් කලේ ය. අමරදේවගේ බඹරෙකු ආවයි නිරිත දිගේයා, ගීතය අපේම වාදන වෘන්දය සමග ඉස්කෝලේ සඳුදා රැස්වීමට ගායන කලේ මට මතක හැටියට ඒ කාලේ හයේ හෝ හතේ පන්තිවල මල්ලිලා ය. .

ඔය බඹරා සමග ආ අනෙක් සිංදුව මින්දද හී සර ය. නෑ මේක අනංග කතාවක් නොවේ. තනිකරම මියුසික් ස්ටෝරියකි. මාත් එක්කම ෆ්ලූට් එක පිඹින අපි තුන්දෙනෙක් සිටියෙමු. අනෙක් දෙන්නාගේම නමගම නම් මේ මොහොතේ සිහියට නොඑයි. එයින් හොඳම ෆ්ලූට් කාරයා පිම්බේ හයි ජී, නැත්තං උච්ච සප්තකයේ ස්වර නැගෙන යාන්තං වියතක් විතර වත් දිග නැති, පුංචි ඇඟිල්ලක් විතර නළාවකි. අනිත් අපි දෙන්නාටම තිබුණේ ජී ෆ්ලූට්ය. මේවායේ පහල ස්වර ගාම්භීර ගැඹුරකිනුත් උච්ච ස්වර පසාරු වෙන තියුණු බවකිනුත් පිඹින්නට හිත පත කෙසේ වෙතත්, හොඳට හුළං පිරෙන පපුවකුත්, සියුම්ලෙස පාලනය කලහැකි තොලකුත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යතාවයක් ලෙස අපි තේරුම් ගෙන සිටියෙමු. මේ හේතුව හින්දා වෙලාවක් ලැබෙන හැම වෙලේම මේකට හුළං පිඹීම අපේ විනෝදාංශය වූ අතර, එක එක සිදුරෙන් නැගෙන ස්වර සිහිතබා ගැනීමත්, විශේෂයෙන් හිලේ බාගයක් ඇඟිල්ලෙන් වසා පිඹින කෝමල හා තිව්‍ර මා ස්වර හරියටම  ඇල්ලීමත් අපේ අනාගත සිහින විමානවල බිත්ති පුරා වැටී තිබුණු සෙවනැලි බවට පත්වී තිබුණේ ය.

ඉතින් මින්දද හීසර ගහන්නට තැත්කවන කාලය වෙද්දී, බෙග්ගේ සිංදු කෑලිත්, මිල්ටන් පෙරේරාගේ සිංදු කෑලිත් එයිටත් අමතරව අපිම හදාගත් එක් එක් සංගීත ඛණ්ඩයනුත් අපේ ගෙවල්වල උන් තොරතෝංචියක් නැතුව අසා තිබුණි. මතක ඇති එක සිංදුවක් නම් 'කුමාරි ආදර මැදුරේ' ය. ඒක නං අද උනත් ඕනෑවට වඩා හවස්වෙලා ගෙදර යන්න වෙන දවසකට වගේ කියන්නට පුළුවන් ජාතියේ සිංදුවකි. අනුමානයක් නැතුව ප්‍රේමකීර්ති මේක ලියන්න ඇත්තේ අත්දැකීමකින්ම කියලාත් හිතේ.



මේ සියල්ලෙන් පස්සේ කැම්පස් යන කාලේ වෙද්දී, අර පත කෙසේ වෙතත් හිත නං පිරී ඉතිරී, මගේ හිතේත් තිබුනේ එක්තරා විදිහක ෆ්ලූට් කාරයෙක්ගේම හිතිවිලිය. ඉතින් ඇඳුම් කැඩුම් එක්ක මගේ ජී ෆ්ලූට් එකත්, තාත්තා අරන් දී තිබුණු සී ෆ්ලූට් එකත් කොළඹ ආයේ ය. කොමන් රූම් එකේ වැඩිපුර කවුරුවත් නැති හැන්දෑවල, මගේ මින්දද හී සර අහපු රසිකයෝත් එකෙක් දෙන්නෙක් වත් සිටියෝය. දැන් වාගේ අතේ කටේ සාක්කුවේ රුවාගන කණට කළාඳුරු කැට ඔබාගන සිංදු අහන මෙවලම් නොතිබුණු ඒ කාලයේ, යාන්තං හිල් බටයක හුළං අතුල්ලන මටත් අපේ විද්‍යා පීඨයේ සමහරු සංගීත කාරයකුට වගේ සලකන ගතියක් ඇතිවී තිබුණි. මතක ඇති තරමින්, ෆ්ලූට් එක පිම්ඹ අනිත් එකා එරල් ය. ඒත් පිඹිනවාට වඩා, තරමක් පදම් වී, මට කියා සංගීතයක් ගස්සවා එන්ජෝයි කිරීම හතර පස් වතාවක් සිද්ධ වුනා මට මතකය.

ඔයින් මෙයින් පළමු වසරේ අවසාන කාලය වෙද්දී, අපේ බැච් එකේ ෆ්ලූට් කාරයෙක් ලෙස, විශේෂයෙන් මගේ වාදනයක් කවදාවත් නොඇසූ කාණ්ඩ අතර යම් තරමක නමක් දිනා ගන්නට මට හැකිවී තිබුණි. විද්‍යා පීඨයේ වාර්ෂික සංගීත සන්ධ්‍යාව හා අපරදිග නැටුම් සංකලනය වූ තමාෂා ව සංවිධානය කරන්නේ ඒ අවුරුද්දේ ශිෂ්‍ය සංගම් බලය අතේ තියන දෙවන වසරේ සිසුවෝය. මේකට කෑලි දෙකකි. තවමත් එහෙම යැයි සිතමි. මුල් කෑල්ල, නව කලාගාරයේ සිංහල සම්භාව්‍ය සංගීත උත්සවයකි. දෙවෙනි කෑල්ල, කිං ජෝජ් හෝල් එකේ, බෑන්ඩ් එකක් හා නොන්ස්ටොප් සංගීතයකි.

අර නවකලාගාර කෑල්ලට, එදා ආවේ අමරදේව, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, සනත් නන්දසිරි, මල්කාන්ති, දයාරත්න වැනි ගායක ගායිකාවෝ ය. එ් ගොල්ලට සංගීතය දෙන්නට ආවේ බොහෝවිට ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයට අනුබද්ධ සංගීතඥයෝ ය. මේ අතරට එකතුවන අපේම අයත් එක්කෙනෙක් දෙන්නෙක් සෙල්ලං පෙන්වීම සිරිතකි. මේ චාන්ස් එක ලැබීමත් ගෞරවයකි. බැචාලා අතර තියෙන්නා වූ, පිළිගැනීමේ සංකේතය කි. ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, අපේ පළමු වසරෙන් බටනලා වාදකයාව ස්ටේජ් එකට නග්ගන්නට කොහෙන් හෝ තීරණයක් ආයේය. මං හිතන හැටියට නම්,
"උඹලගේ කවුරුවත් නැද්ද මචං"
" අඩෝ... අරූ ෆ්ලූට් ගහනවා නේ ද? උගෙන් අහපන්"
වැනි කුමන්ත්‍රණයක් විය යුතු ය.

හිත ඇති එකා පත හොයා ගත යුත්තේ තමුන් දෑස් මානයට එන අවස්ථාවන් තුලින්ම ය. එහෙව් එකේ මෙහෙම චාන්ස් එකකට බෑ කියා යාළුවන් ගේ හිත් රිදවීම නොමනා නිසා, එදා මම තමාෂා ආවේ ෆ්ලූට් එකත් අරගනය.

ස්ටේජ් එකේ වාඩිවී සිටි සංගීත කාරයින් සිටියේ ගායකයා වාඩි ගන්නා කොට වේදිකා කෑල්ලට පස්සෙනි. ඉස්සරහින් හිටියේ තබ්ලාව වාදනය කල විජේරත්න රණතුංග ය. ඊලඟ අංකයට යන්නට සයිඩි තිරය අහල හිටි මගේත් විජේරත්න රණතුංගගේත් ඇස් හමුවී තිබුණි. හීන් හිනාවක් මතකය. ඉන්පස්සේ ඒ ඇඟිලි එහෙ මෙහෙ යන සුකුරුත්තමට හිත වශීවී ගියේය.

නම ගම වගතුග නිවේදනය කල පසු, නවකලාගාරය දෙදරුම් දෙනවාත් සමගම ගිහින් වේදිකාවේ  වාඩි ගන්නවාත්, ටිකක් ඇදලා පැදලා පලමු ස්වර ඛණ්ඩය පිඹිනවාත් මට මතකය. පිටි පස්සේ වයලීනයකින් ඒකට සප් එකක් දෙන්නට හීන් අඬක් නැගුණු අතර, විජේරත්න රණතුංග, අර හිනාවෙන්ම ඔළුව වනා මා දිරිමත් කරන ගමන්ම, තබ්ලා සප් එකත් ඇරඹී ය.

එයා වරද්ද ගත්තේ එතන දීය සිතමි. මුල් පද පේලි හතර පහේදීම උත්සාහ කලත්, මගේ ම කරගන මා වැයූ මින්දද හීසර වාදනයේ තාල් අල්ලා ගන්නට විජේරත්න රණතුංග ගත් උත්සාහය අසාර්ථක වී ගියේය. මෙයින් අතිශය උද්දාමයට පත් වූ, නවකලාගාරය පිිරී ඉතිරී සිටි ප්‍රේක්ෂක සොයුරු සොයුරියෝ, නොනැවතුනු හූ ඝෝෂාවකින් සිය අනුමැතිය පල කර සිටියහ.  අසරණ වූ විජේරත්න රණතුංග අර හීන් හිනාවත් එක්කම පරාජය භාරගෙන මෙන්, යාන්තං තබ්ලාව අතගාමින් නිහඬ වුනත්, මගේ වාදනය නැවතුනේ නම් දිගටම දිගටම දිගටම.... අන්තිම ස්වරය දක්වාම පිඹලා ය ඉන් පස්සේ ප්‍රේක්ෂකාගාරයටත් ආචාර කරලා නැගිට ඒ මෙනි.

එදා, මොනයම්ම හෝ හේතුවකින්, විජේරත්න රණතුංගයන්ට මගේ වාදනයේ තාල් හරියට අල්ලා ගන්නට ලැබුණා නම්....  කියන කාරණය අදටත් ඉඳහිට හිතට නැගෙයි.

හිත තිබුණාටම පත ලොකු වෙන්නේ නැත....

තාල් ඇතුව නලාව පිඹින්නට ඉගෙන ගැනීමත් අත්‍යවශ්‍යය කාරණයකි..

[ලාංකීය සංගීතඥයින් අතර විශිෂ්ඨතම තාල තරංග වාදකයකු වූ විජේරත්න රණතුංග 2011 සැප්තැම්බර් 17 දා අපහැර ගියේය.]


Continue Reading...

Friday, October 20, 2017

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා


අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විචි යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත. පේන ටික ඒ වාගේම පේන්නට හදන්නට මට ඒ කාලේත් සෑහෙන දුරට පුළුවන් නමුත් නොපෙනෙන ටික හදන එක නම් බැරෑරුම් කාර්යයක් වෙයි. ඉතින්, සපත්තු පෙට්ටියේ පැස්ටල් පාට අතුරා අරක්කු මූඩි අලවා හදා තිබුණ රේඩියෝවට මොන ජංජාලය කලත් සිංදු කියවන්නට නම් නොහැකි විය.

සංගීතය සම්බන්ධයෙන් මගේ බොහෝ අත්දැකීම් ඔය අහලින් යන ඒවා වෙයි. හතරේ පහේ ඉන්නා කාලයේ, වෙන්නප්පුව පල්ලියේ මංගල්ලයක් දවසක දී, පාරෙන් එහා පැත්තේ මඩමේ තාප්පය අයිනේ හරස් අතට අල්ලා පිඹින බටනලා ගොඩක් ලඟ වෙලෙන්දෙක් හිංදිදෝ මංදා ඉතාම මියුරු වාදනයක් වයමින් සිටියේය. අනික් මිනිසුන් ළමයින් වාගේම මේ සංගීතයට තුෂ්නිම්භූත වී සවන්දුන් අයියාත් මමත්, අතේ තිබුණු මුදල් එකතු කරලා බටනලා දෙකක් මිලදී ගතිමු. කෙලින් අල්ලා පිඹින, කට තියන කෙලවරේ ඉපියාවක් රැඳවූ බටනලාව, නිකම්ම පිම්ඹත් හඬක් උපදවන නමුත්, හරස් අතට අල්ලාගෙන පිඹින, මේ හිල් විදපු බට කෑල්ලට කොච්චර පිම්ඹත් නැගුනේ සූස් සූස් ගාන හුළං සද්දය විතරම ය. ඒ වුනත් අර වෙලෙන්දා මේ වාගේම බට කෑල්ලකින් නැගූ අච්චර සංගීත ස්වර හිතේ තිබුණු අපට මේක ඉගෙන ගන්නා එක අත අරින්නට හිතුණේ ද නැත. ගිනිපෙට්ටියක් නැති වෙලාවක, නිවිච්චි අඟුරු කැටයකට පිඹලා පිඹලා පිඹලා ගිනි දල්ලක් නග්ගා ගන්නවා වගේ මේ හිල් බට ලීයෙන් යාන්තං සංගීත ස්වරයක් මතුකරගන්නට මට පුළුවන් වුනේ ඒ සති අන්තයම ආච්චිලාගේ ගෙදර සාලයේ පුටුවක් උඩට වී, පිඹලා පිඹලා පිඹලා ය. එදා ඒ දවස, ඒ මොහොත නං, අපේ අයියාව පරද්දා යමක් කල දවසක් හැටියට තාමත් මතකයේ තිබේ.

සද්ද කිරීම එකකි. සංගීතය තව එකකි. සංයමයකින් සද්ද කිරීම කියා හිතෙන්නට පුළුවන් නමුත්, සංගීතය කියන්නේ නලාවකුත් සංයමයකුත් විතරක්ම තිබුණාට කරන්නට පුළුවන් දෙයක් නොවේ. අර ඩී. අයි. පෙට්ටි රේඩියෝව වාගේම ඒකට තවත් පරිපථ කීපයක්ම හරියට සකස්වී ඇවිණිී තිබිය යුතුය. කෙසේ වෙතත්, බටනලාව පිඹීමත්, එහා මෙහා වී, චප්ප වී තැලී වාගේම රණ්ඩු දබර වලදී පාවිච්චියට අරගෙන පැලී කැඩී ගියත්, අවස්ථාවක් ලැබුණාම අර වාගේ පල්ලි මංගල්ල වලදී, හරහට පිඹින බටනලාවක් මිලදී ගන්නා එකත් කොහොමටත් එයින් පස්සේ මගේ සෙල්ලමක් වී තිබුණි. මේ නලා වාදනයට ඉස්සර නං මගේ සංගීත භාණ්ඩය වුනේ ඩොලැක්කියයි. මං හිතන්නේ අපේ ගෙදර අය මං ඩොලැක්කිය ගහනවාට වඩා බටනලාව පිඹින එකට මනාප වන්නටත් ඇත.

බටනලා පිඹීමේ හැකියාව පුරුදු පුහුණු කරගැනීමේ වැදගත්ම ප්‍රයෝජනය වූයේ නවසිය හැට අටේ විතර අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් තූර්ය වාදක කණ්ඩායම් හැදූ කාලයේ දීයි. අපේ ඉස්කෝලේ සංගීත සර් වූයේ භාත්ඛණ්ඩේ ගිය සිතාර් වාදකයකු වූ ජස්ටින් සිල්වා සර් ය. කවුරු කොහොම තීරණය කලාද දන්නේ නැතත්, මුලින්ම සිදුවූයේ තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ මිලදී ගෙන ඒමයි. ඒවා අතර පිත්තලෙන් සාදා ක්‍රෝම් ආලේප කල බටනලා අඩුම ගණනේ දහයක් විතර තිබුණි. මේවා ඇඟිලි තියා හිල් වැසිය යුතු හරස් අතට හිලට කට තියා පිඹින පෙරදිග ඒවා මිස, ඔබන්නට බොත්තම් ඇති අපරදිග ඒවා නොවේ. අර මං පිඹ පිඹා හිටි එක ජාතියේම මුත් බටය පිත්තලය.

භාණ්ඩ ගෙනවිත් වාදකයින් තේරීම පටන් ගත්තේ බටනලා පිඹින්නට පුළුවන් අය තේරීමෙනි. අපේ මුළු පන්තියෙන්ම ස්වර සද්ද වෙන්නට මේ බම්බුව පිඹින්නට පුළුවන් වුනේ එක් කෙනාටය. ඉතින් අපේ පංතියේ ප්‍රථම තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයා වූයේ මමයි. ආරම්භය බට නලා වාදනයෙන් වුනත්, අර පිත්තල බම්බුව හරස් අතට උස්සාගෙන පිඹින ගමන් සරඹ කරන වැඩේ කාටවත් හරිහමන් විදිහට කරගන්නට බැරිබව ඉතා ඉක්මනින්ම පැහැදිලි විය. තූර්ය වාදක කණ්ඩායමේ බටනලා කාරයින් සියලු දෙනාටම බටහිර වාදන භාණ්ඩයක් වූ මෙලෝඩිකා ආදේශ විය. ඒකේ පිඹීම විතරය. ස්වර අල්ලන්නේ පියානෝ ආකාර යතුරු පුවරුවක යතුරු ඔබාලාය. වැඩේ ලේසිය. පුරුදු පුහුණු වී වාදනය කරන්නට සිද්ධ වුනේ සිංදු තුනකි. ජාතික ගීය, වැඩ හුරුවීමේ ගීය හා සැමදන මන දිනු සියවස් ගීතයයි. හොඳ වෙලාවට ඊරියගොල්ල මහත්තයා ඒ දෙකට අමතරව වෙන සිංදු ලිව්වේ නැත. සියවස එකසිය එක දෙක වෙන කාලය වෙද්දී, තූර්ය වාදක කණ්ඩායම් ද හීන් සීරුවේ අභාවයට ගියේය. ඒ අතරතුර ඩඩ්ලි සේනානායක පිළිගැනීමේ උත්සවයකට ඇරෙන්නට වෙන වැදගත් දේකට තූර්යවාදනයක් සඳහා සහභාගි වුනා මතකයක් නැත. අර සිංදු තුනට අමතරව හරියටම සංගීත භාණ්ඩ වාදනය කල හැකි අය ඉස්කෝලේ කටයුතු වලදී අර භාණ්ඩ වාදනය කලත්, යුනිෆෝම් ඇඳලා කල්බලමින් මෙලෝඩිකා පිඹීමේ වැඩේ එතනින් අවසාන විය.




මගේ බටනලා පිඹීමේ ඉතිහාස කතාවේ දෙවන අදියර ඇරඹෙන්නේ නවසිය හැත්තෑ එක දෙක හරියේ දීයි. ඔය කාලයේ දී මෙලෝඩිකා එක නිසා බටනලාවෙන් දුරස් වී සිටි මට බටනලාවක් හදන්නට කල්පනාවක් ආයේය. වැඩියම මේකට හේතුවුනේ ඒ කාලයේ හා හපුරා කියා වෙළඳ පලට ආපු ප්ලැටිග්නම් පාට කූරුය. මයියොක්කා බඩයක් වැනි තුඩක් සවිකල ප්ලාස්ටික් බටයක් වූ මේවායේ ඇතුලේ ඇත්තේ මොනවාද යන සාධාරණ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ප්‍රධානම කාරණයක් විය. අනෙක් කෙලවරේ ඇති සුදු ප්ලාස්ටික් පියන පරිස්සමින් අයින් කලාම, ඇතුලේ ඇති පොලිතීන් බටයක පුළුන් පුරවා තිීන්ත පොඟවා සාදා ඇති තීන්ත බටය අහකට ගන්නට පුළුවන් බව දැන ගැනීමට වැඩිකල් ගියේ නැත්තේ, මේ මුල් පාට කූරු වියලී නොලියවී යෑමේ ලෙඩක් ද තිබූ නිසාය.
දම්පාට ප්ලැටිග්නම් කූරක ප්ලාස්ටික් බටයක ලිපේ දමා රත්කර ගත් කම්බි ඇණයකින් සිදුරු හදා සෑදූ මගේ මුල්ම බටනලාවේ ස්වර හිල් තිබුණේ තුනකි. හිල් තුනේ නළාවේ, හරියටම ස්වරම නොවූ හඬවල් හයක් විතර ගන්නට පුළුවන් නිසා, ටිකක් වැර වෑයම් කර බෙග් ගේ "ඔය හද පතාල ආමී" හෝ එහෙම නැත්නම් මිල්ටන් ගේ "දෙව් දුව පලා ගියා දෝ" සිංදුවල මුල් හරිය වගේ මට ඇහෙන තාලයක් නගා ගන්නට පුළුවන් විය. දවස් දෙක තුනකට පස්සේ දවසක කොළඹ ගිය අපේ තාත්තා, බොම්බේ හාර්මෝනියම් එකෙන් මට 'C' ෆ්ලූට් එකක් ගෙනැවිත් දුන්නේ ය. අර කොට ප්ලැටිග්නම් බටයේ උච්ච ස්වර ඉහලටම ඇසී තිබුණි.

අපේ ගෙදර කවුරුවත් සංගීත කාරයෝ නුවූහ. ඒ නිසාවෙන්ම තමුන්ට බැරි දේ පුළුවන් උන් ගැන යම් ඇගැයීමක් ගෞරවයක් තිබුණා විය යුතුය. එසේත් නැත්නම් අර ප්ලැටිග්නම් කූරේ කාන්හාර් නාද රටාව අහලා අහලාම ඇතිවෙලා තිබුණා වන්නටත් පුළුවන. ගෙදර කවුරුවත් මට පිඹින්නයැයි ඇවටිලි කරනවා මතක නැති වුනත්, ඉඩක් ලැබෙන හැම වේලාවේම පාහේ බට නලාව 'අත්හදා' බැලීම මගේ සිරිතක් බවට පත්වුනේය. අපේ රටේ හැම දේම වගේම මගේ සංගීත ජීවිතයත් හැඩ ගැහුනේ වෙනස් වුනේ දේශපාලනික හේතු සාධක මත බව මෙතෙක් කියවූ දේවලින් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මේ පසුව ලියවෙන දේවලටත් ශ්‍රී ලාංකික දේශපාලනය සියයට සියයක්ම පාහේ දායක වී තිබේ. මේ ප්ලැටිග්නම් කූරෙන් වස්දඬු නලාවට පරිවර්තනය වූ යුගය වනාහී, ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව නිල කාලය වූ පුරා පස් අවුරුද්දක් රට පාලනය කර හැත්තෑවේ ජන රැල්ලට හසුවී ගසා ගෙන ගිය යුගයයි. මෙවැනි පරිවර්තනයකින් පසු අපේ ගම් පලාත්වල සියලු කටයුවලත් පාට මාරු වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ කොළ නිල් මාරු කිරිල්ල හොඳින්ම එළිපිටම වෙන්නාවූ ස්ථාන දෙකක් තිබේ. එකක් පොලිසියය. අනික් එක පාසැලය. අපේ ඉස්කෝලේ සිද්ධවූ මාරු වීම් අතර එක් මාරුවක් වූයේ සංගීත සර් වූ ජස්ටින් සිල්වාගේ තැනට කුවින්ටස් ජයකොඩි සර් පත්වී ඒමයි.

මට යාන්තම් මතක හැටියට නුවර පැත්තේ පාසලක සිට පැමිණි ජයකොඩි සර්, සිය යාව ජීව ගෝල බාලයන් හතර පස් දෙනෙකුද ඒ සමගම රැගෙන ආයේය. ඒ හැමෝම උත්පත්තියෙන්ම සංගීත කාරයෝ වූහ. ජන්ම ලාභයෙන්ම සංගීතය අතේ කණේ පලඳාගෙන පැමිණි උන් අපේ පන්තිවලද නොහිටියා නොවන මුත්, ඒ වනතුරු සංගීතය විෂයයක් ලෙස හදාරා සංගීත කාරයින් වෙන්නට හිතූ පැතූ අය අපේ පාසලේ, මා දන්නා තරමින් නම් හිටියේ නැත.  ගායනා නාට්‍ය වැනි දේ එයිට කලින් අපේ ඉස්කෝලේත් අඩු නැතුව කෙරුනා මුත්, අළුත් විදුහල්පති වූත් සාහිත්‍යකාරයකු කලාකාරයකු  වූත් පැන්ටලියන් සර්ගේත් ජයකොඩි සර්ගේත් සංයෝගය සංගීත හා කලා කටයුතු වල අළුත් පුනරුදයක් ඇතිකල බව නම් නොරහසකි. ඇත්තෙන්ම ජයකොඩි සර්ගේත් ඒ කිට්ටුවම වාගේ පැමිණි නැටුම් සර්ගේත් ආගමනය කල්යල් බලා පිඹුරුපත් සාදා කෙරුණු වෙනස්කම් විය යුතුය. ඒ බොහෝ දේ පසුපස, සිටි බලවේගය විදුහල්පති වූ පැන්ටලියන් සර්ම වියයුතුය.

සංගීතයට කෙසේ වෙතත්, බටනලාව පිඹින්නට හැකියාව තිබීමේ හේතුව නිසා, ජයකොඩි සර් හැදූ සංධවනි කණ්ඩායම නොහොත් ඕකෙස්ට්රා එකේ සෙල්ලම් කල බටනලා කාරයින් තුන්දෙනාගෙන් එකකු වීමේ වාසනාව මට ද උදාවිය. ලියන්න උත්සාහ කරමින් වටේ ගිය කතන්දරය පටන් ගන්නේ එතැනිනි. ලියාදුන් ස්වර ටික තාල් නොවරද්දා පිඹීමේ විස්මිතය පුරුදු පුහුණු වීමෙන්ම ප්‍රගුණ කරගන්නට පුළුවන් වූ නිසාවෙන්, ෆ්ලූට් කෑල්ලකින් ආරම්භ වූ මේ සංධවනිය, මණ්ඩලයෙන්, දිස්ත්‍රික්කයෙන් මුල්තැන දිනා වයඹ පලාත් තරඟය දක්වාම දුර දිග ගිය අතර, කුරුණෑගල මලිය දේවයේ තිබුණු පලාත් තරඟය දවසේ, ජයකොඩි සර්ගේ යාළුමිත්‍රකමට භාණ්ඩ සුසර කරලා කණ්ඩායමට උපදෙස් උපදේශන දෙන්නට ආ කපුගේ එක්ක කතා බහ කරන්නට (අහගන ඉන්න එකත් ඉතින් කතා කිරීමක්ම තමයි නේ ද?) ලැබුණ වාසනාවත් ගෙනායේය.

නම ගම කොහොම වුණත් නැටුං සර් කියා අප හැඳින්වූ නැටුං සර් මේ හැම දේකදිම සයිඩි සපෝට් කාරයකු වූ අතර, සංගීතයත් නැටුමුත් දෙකම කරන කොල්ලනුත් සිටි නිසාත්, නැටුම් වලට බෙර වැයුමත් සංගීතයක්ම වූ නිසාත් ජයකොඩි සර් ඉන්නා තැනක නැටුං සර්රුත් ඉන්නා එක සාමාන්‍ය සිරිත වී තිබුණි. දිස්ත්‍රික්ක නැටුම් තරඟ වලට පුරුදු පුහුණු කල පාරු කවි කණ්ඩායමේ රැඟුමට සංගීතයකුත් එකතු කරන්නට නැටුං සර්ට හිතෙන්න ඇත්තේ මේ සංධවනි වැඩ නැගලා ගිය නිසා වන්නට පුළුවනි.

ඒකට මුලින්ම අල්ලාගෙන තිබුණේ හත්මුතු පරම්පරාවක්ම සංගීත කාරයින් වූත්, ස්කෝල පිට්ටනියේ සංගීත සංදර්ශන යේ පැට්රික් දෙණිපිටිය ඇතුළු සියැක් වාදක කණ්ඩායමේ වාදන වල වුණත් අවුට් යන තැන් ෆ්ලැට් යන තැන් කියා පෙන්නනට තරම් තියුණු කර්ණක්කාරයකු වූත් වයලින් එක දිහා ඈත ඉඳලා බලලා මියුසික් ගහන්නට පුළුවන් ලූෂන් ය. බෙරයත් වයලීනයත් ඕනෑ පදම් ඇති වුනත්, නැටුං සර්ට මේ රංගනයට ෆ්ලූට් කාරයකුත් ඕනෑම වූ හින් දා, හලාවත තරඟයට දවස් තුන හතරක් තියලා ජයකොඩි සර්, 'මෙන්න මේ ආන්ජලෝව අරන් යන්න' යි නැටුං සර්ට කීය.

ස්වර නැතුව පිඹින්න බෑ, තාල් අහුවෙන වා හොරයි ආදී නොයෙකුත් කතා කියලා පින්සෙන්ඩු වුනත් ජයකොඩි සර්ගේ රෙකමදාරුව හින්දා 'මේක ගහන්ඩ ඕයි මහ කජ්ජක් ද? පිඹිනවා පිඹිනවා...' කියා කොචොක් කෙරුවා මිස, ඒ තැනක එක සීරුවට ඉඳලා මගේ නලා පිඹිල්ලේ ගුණා ගුන බලන්නට නං නැටුං සර්ට ඉස්පාසුවක් තිබුණේ නැත. නැටුම පුරුදු වෙන වෙලාවල නටන උන්ගේ කකුල් එහා මෙහා වෙන එකත්, බෙරය ගැහිල්ලේ සිහියත් මිස, ලූෂන්ගේ වයලින් සද්දය අනුකරණය කරන්නට මා ගත් අසාර්ථක උත්සාහය ගැන සර්ගේ ඇහැ කණ යොමුවුනේ නැත. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් ස්වරයක් දෙකක් අල්ලලා ලූෂන්ට සප් එකක් දීලා වැඩේ ෂේප් වෙන ගතියක් තිබුණු හින් දා මගේ දාඩිය දැමිල්ලත් යං තරමකට පදං වී ගියේය.

නැටුම පාරු කවි කිය කියා කොල්ලන් පේලි දෙකක් පාරු පදින දර්ශනයකි.

ඔයින් මෙයින්, දිස්ත්‍රික් තරඟයට ගිහින් හලාවත පල්ලිය ලඟ ඉස්කෝලේ පන්ති කාමරයක නටන කට්ටිය ඇඳුන් අඳින වෙලේ නැටුං සර්ට හදිස්සියේම මියුසික් කාරයින්ටත් පාරු කාරයින්ගේ ඇඳුං අන්දලා වේදිකාවට නැග්ගවීමේ මහා භයානක අදහස ආයේ ය. මිනිහා කිව්දේ කරන, කරපු දේ කියන හිතේ කහටක් නැතුව තොලකට තෙමාගන්නා අහිංසකයකු වූ හින්දා, මගේ පිංසෙංඩු වීම ගණන් ගත්තේ නැත. ඉතින් සරොං කොට ඇඳලා ඉන වටේ ලේන්සු බැඳලා, ඔළුවට තලප්පාවලුත් බැඳගෙන ස්ටේජ් එකේ පාරු කාරයින් එක්කම පාරුවේ වැනෙන්නට වීම ලූෂන්ට කෙසේ වෙතත්, මට නං සිද්ධ වීම පාරුවේ පුවක් කියාම මිස වෙන විදිහකින් හැඳින්විය හැකි නොවේ. කි

ඒකත් මගේ නොව නැටුං සර්ගේ ය.

ඒ කියූ කවි වලින් මතක හිටියේ පද දෙකකි....

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා
කන්දර ඇලේ ලිර දායේ මිරිකුණියා.....


නටන උන් හරියටම නැටූ අතර ලූෂනුත් හරියටම වයලින් එක ගැහුවත්, අයිටම් එක ඉවරවෙලා ඔළුව නවාගන ස්ටේජ් එකෙන් බහිද් දී, "මොනාද ඕයි අර පිම්ඹේ...?" කියා ඇසූ නැටුං සර්ට, "මං කිව්වනේ සර් මට මියුසික් බෑ කියලා" කියා කියන්නට තරමට නං මට සිහිය තිබුණි.

නැටුං තරඟ කට්ටිය දිස්ත්‍රික්කයෙන් එහාට ගියේ නැත.






Continue Reading...

Tuesday, October 17, 2017

පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම

ගේබ්‍රියල් ගේත් මගේත් යාළුකම පටන් ගත්තේ නවවැනි පංතියේ දී විතර විය යුතුය. මා පොට්ටයා වූ අතර ගෙබ්බා උතුර බලන්නට දකුණට ඔළුව හරවන වපරයෙකි. පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම සඳහන් කර කියවෙන ඇනුම් පද වලට ගෙබ්බාගේ මුහුණට නැගෙන්නේ අසරණ හිනාවකි. ඒ හිනාව එදා අපි දෙන්නාටම පොදු වූයේයි දැන් මට හිතේ.

ගෙබ්බාගේ තාත්තා දැල් පන්න කාරයෙකි. වැල්ලේ මාළු ලෑල්ලේ රේන්දය කලේ ලොකු අයියාය. දෙවෙනි අයියා මහ විසාල ඇල්බීසියා කඳන් පොරෝ තලයෙන් ලෑටි ගා තෙප්පං කැපුවේය....

වැල්ලේ ගෙබ්බලා ගේ ගෙදර පොල් ගහක් යට වාඩිවී ඉස්සර වාගේ කතා කර කර ඉන්නට ආසාව තිබුණත්, ගේ තිබුණු ඉසව්ව පුරාම ගෙවල් යායක් වෙලාය. මූදත් ගෙවල් මණ්ඩියත් අතර අඩි සීයක් දෙසීයක් තිබුණු තඹ පාට වැලිතලාව වෙනුවට දෙන්නෙකුට අත් අල්ලාගන යන්න ට පුළුවන් වැලි තීරුවක් ඉතිරි වී තිබේ. 

රැල්ල බිඳෙන්නේ එහෙන් මෙහෙන් ගෙනත් පරිස්සමට අඩුක්කල කළුගල් කොන්ක්‍රීට් ඇතිරිල්ලක් තෙමාගෙනය. සුනාමිය අරන් ඇවිත් මුරණ්ඩු වූ මූදට දැන් හැමදාම ඒ ගල්වල ඔළුව ගහ ගන්නට සිද්ධ වී තිබේ.

මූදට බය නැති ගෙබ්බලාගේ පරපුරේ මිනිස්සු, ඇල්බීසියා කොට අතහැර දමා දැන් ෆයිබර් ග්ලාස් තෙප්පං වල මූදු යති. හුලං බදන රුවල වෙනුවට පැට්රල් පුච්චන අවුට් බෝඩ් මෝටර උන්ගේ ජීවිත වලට හුළං පිඹියි. ලුණට කර වී අපාට වූ කොහු ලණුවලින් එකට පිරිද්දූ ඇල්බීසියා ලී තෙප්පම මෙන් නොව ෆයිබර් තෙප්පම වර්ණවත්ය... පැස්ටල් පාටය... ලස්සණය....

මේ තෙප්පම ෆයිබර් ද?
- ඔව් දැන් ලී තෙප්පං කොහෙවත් නෑ...

ඇතුල හිස්...?
- ඔව් බීම් ගහල තියෙන්නෙ....

මං හිතුව දැන් බෝට්ටු විතරයි කියල...
- නෑ, වළාලෙ කාලෙට මේක තමයි හොඳම....!

-අද රෑට මුදු යන්න දැල් එකලස් කරන නලින්-

December 15, 2015




Continue Reading...

Tuesday, October 10, 2017

පිණි බිංදු අවුණන සුරඟන



කඳුළු කඳු මුදුනත
දැවටෙන සිහින හිම මත
සුළැඟිලි අගින් මම
ලියන්නෙමි ඔබේ නම

අහස් ගඟ ඉවුර මල් මත
හෙමින් පා තබ තබා ඇවිදින
සිහින් විල්ලූද තටුවල
පිණි බිංදු අවුණන සුරඟන

පුංචි පොඩි තරු කැට
ඔය මුදු පා පොඩිති යට
කිති කැවී හිනාවෙන හඬ
ඇහෙනවා ඇහෙනවා මට

ලපැටි සමනල් තටුවක
පාට කුඩු ඇඟිලි තුඩගට
අරගෙන හෙමින් පිඹ
එවනවද කියා සුළඟට

නිසංසල සිහින අරගෙන
මද අඳුරු දම්පාට අහසක
පියවෙන නෙතු පියන් යට
රැඳවෙන්න එක රැයකට

Continue Reading...

Sunday, October 8, 2017

පහන් සිලක් ලඟ සුලං රලක්


පහන් සිලක් ලඟ සුලං රලක් නැවතී
ගිමන් නිවන්නට නවාතැනක් අයදී...
අැඟිලි අගිස්සක පිණි බිඳුවක් තැවරී
කපොල් තලාවක නෙළුම් මලක් පිබිදී...

විලක් නොවේ නම් ගඟක් වෙලා අවුදින්
ගලා නොයන්නම් ලඟටම වී ඉන්නම්
ඉරත් මලානික හැන්දෑවක රහසින්
හීන් හිනාවක පිපී සුවඳ වෙන්නම්

පියෙන් පියවරට හැරී බලා යා නම්
හෙටත් අද වගේ මෙතැනම හමු වෙන්නම්
අදක් හෙටක් නැති තනි දවසක් වේ නම්
උදාසනක් මිස රැයක් නොවී ඉන්නම්

ඔක්තෝම්බර 8, 2015
[පින්තූරය - Dan Shalloe, Red Bubble]




Continue Reading...

Blogroll

About