Monday, November 27, 2017

පියාපත් - ධනුෂ්කා නිෂාදි කුලරත්න [කවි බූන්දි]

දැලක පැටළුණු අය 
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා
බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම
නැවතුනොත්
උගුලකට බැඳෙනවා
අන්ධකාරේ අතුරුදන් වෙන
සතුටු දුවිලි, මතක අළු
ක්ෂුද්‍ර වැටකඩුළු වී අතරමග
අතරමංවෙන පාර කියනවා
නවතින්න හැකි
සැබැයි
විඩාවට ඉනාවක් දෙයි
සැබැයි
පරිස්සම් කරගත්තොතින්
යාළුවේ!
පියාපත් ජීවිතේ රකිනවා


 - ධනුෂ්කා නිෂාදි කුලරත්න
Continue Reading...

Friday, November 24, 2017

නොමැකෙන ඉරි

අහස හිම වී හඬා වැටුනත්
නොවැසෙනා ඉරි
තැළුම් වේ පොළවේ
සයුර බොඳවී ගලා ආවත්
තිබේ ගල්පර
නොසෙල්වෙන වෙරළේ

පතා ආ සේ නොසිදුවූ දා
කතාවක් නැති
ලෝකයක තනිවී
හිතා ගන්නට නොහැකි ඈතක
පියාඹන්නට
පැතුම් පිබිදේ වී

දයාගුණ පිරි සොඳුරු වදනක
මහාමේරුව
ගිලී සැඟවේවී
අනත නත නා විලස කිමිදී
අමත අමරස
දිවග රඳවාවී



Continue Reading...

Monday, November 20, 2017

මිස්ටර් අනූ දෙක (දෙක) - බිං ඌර් වල් හාර්

සාමාන්‍ය සුලභතාවය (abundance) සලකා බලන විට, යුරේනියම් මිහිතලය මත දුර්ලභ මූල ද්‍රව්‍යයක් නොවේ. පෘතුවි පෘෂ්ඨය මත රත්තරන් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.004 පමණ වන විට යුරේනියම් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 2.7 පමණ වෙයි. එසේ වුනත් මේ ඉලක්කම්, ලියා ඇති විදිහෙන්ම සාමාන්‍ය අගයයන්ය. සාමාන්‍ය අගයයන් ගැන කියනවා නම් හැම එකාගේම වගතුග හොයන ස්විස් බැංකු ඇත්තෝ, දෙදාස් දාසය වෙද්දී, ලංකාවේ වැඩිහිටියකුගේ සාමාන්‍ය වත්කම ඇමරිකන් ඩොලර් පන්දාහකට කිට්ටුය කියති. ඒක අසාමාන්‍ය වනවා මෙන්ම, මේ මුලද්‍රව්‍ය වල සාමාන්‍ය සුලභතා කතාවද අසාමාන්‍ය කතාවක් වෙයි. ගොඩක් ඕනා නම් ගොඩක් ඇති තැනකටම යා යුතුය. හැම දේම වාගේ යුරේනියම් ද ගොඩක් ඇත්තේ නොපෙනෙන තැන් වලය. පොළව යටය. ඉතින් හොයා යන්නා අනිවාර්යයෙන්ම හෑරිය යුතු වෙයි.

කලින් මිස්ටර් අනූ දෙක සටහනේ ලියා ඇති විදිහෙන්ම, දැනට අපි දන්නා පමණින් යුරේනියම් ගොඩක්ම අැති, සාන්ද්‍රම නිධි තිබෙන්නේ කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ ඉහල කෙළවරට වෙන්නට, කිලෝමීටර භාගයකට වඩා දුර පොළව යටයි.

සස්කච්චවාන් ප්‍රාන්තයේ ඉහලට අඩ පුරාම පැතිර ඇත්තේ විල් හා විල්ලුය. ශීත කාලයේ දී හිම සළුවකින් වැසී යන මුත්, වසන්තය හා ගිම්හානය පුරාම ඉහල අහසේ සිට බලද්දී මේ බිම් තලාව තරමක වැස්සකට පසු අපේ රටේ බස් නැවතුම් පලක් මෙන් දිස්වෙයි.




මේ බිම තුලද බොහෝතැන්වල ඇත්තේ උරාගත් ජලයෙන් සංතෘප්ත වූ වැලි ගල්ය. යුරේනියම් පතලයක් යනු මීටර පන්සියයක හයසියයක් පොළව තුලට සිදුරක් හෑරීමත්, එයින් පසු එහි සිට දිගට හරහට සිදුරු කිරීමත් වන අතර, මේ කාර්යයට ඇති ප්‍රධානම බාධකයත් රත්නපුරේ මැණික් පතල් බැසීමේදී හමුවන පතල පුරා වතුර පිරීමම වෙයි. එක එල්ලේ ඔළුවට එන විසඳුම වතුර පොම්පයක් වුවත්, මැක් ආතර් රිවර් හා සිගා ලේක් පතල් ද්වයේම ජලය නවතන ප්‍රධාන උපක්‍රමය නම් ඒ සඳහාම හිල් විද භූගත කල පයිප්ප ජාලයක් ඔස්සේ, සෙන්ට්ග්‍රේඩ් ඍණ විස්සට පමණ ශීත කල ලුණු වතුර පොම්ම කර, කණින්නාවූ ප්‍රදේශය වටා ඇති භූගත ජලය අයිස් බවට ඝන කිරීමයි. මේ අයිස් පවුරට මුවා වූ ප්‍රදේශයේ කැණීම් කටයුතු අවසන් වූ පසු, ඊළඟට කැණෙන ඉසව්ව වටා අළුත් අයිස් පවුරක් තැනෙයි.

දැනට කැනීම් සිදුකෙරෙන, මැක් ආතර් රිවර් යුරේනියම් පතලයේ යුරේනියම් නිධිය හාරන උපක්‍රම දෙකක් භාවිතා කෙරෙයි. උස්සා විදීම යැයි, සිංහලට හැරවිය හැකි Raise Bore ක්‍රමය මේ පතලයේ මුලින්ම භාවිතා වූ ක්‍රමයයි. මීටර පන්සියයේත් හත් සියයේත් පමණ ගැඹුරක, යුරේනියම් නිධියට උඩිනුත් යටිනුත්, තිරස් අතට කැණි දෝණා දෙකක් මේ කාර්යයේ දී භාවිතා වේ. ඉහල දෝණාවේ සිට යුරේනියම් නිධිය පසාරු කර, පහළ දෝණාව දක්වා හාරන සිදුරක් තුලින් බැස්සූ ඊෂාවකට ඇවිණු කැපුම් හිසක් යොදවාගෙන යුරේනියම් සාන්ද්‍රිත නිධිය කුඩා කැබලි වලට කඩා, පහල දෝණාවට හලන අතර, දුරස්ථ පාලකයකින් පාලනය කෙරෙන යන්ත්‍රයකින් මේ ගල්කැබලි එකතු කර ඇඹරුම් යන්ත්‍ර වෙත ගෙනයනු ලබනවා.


[photograph from www.cameco.com]

මැක් ආතර් රිවර් පතලයේ පහු කාලීනව යොදාගනු ලබන කැණීම් ක්‍රමය මේ උස්සා විදීමම උඩින් ඇවිත් පහලට හිල් කිරීම වෙනුවට, පහල සිට ඉහලට හිල් කිරීමකට අනුවර්තනය කිරීමකි. මේ ක්‍රමය නම් කර ඇත්තේ, Box hole boring (සිංහලට පෙරළුවොත්, පෙට්ටි සිදුරු විදීම) යනුවෙනි. මේ ක්‍රමය යොදා ගැනීමේ ප්‍රධාන හේතුව, යුරේනියම් නිධියට ඉහලින් තිරස් දෝණාවක් කැනීමට අපහසු, ඉතා අධික පීඩනයකින් ජලයෙන් සංතෘප්ත වැලිගල් ස්ථරයන් වැනි, භූ තත්වයන් පිහිටා තිබීමයි.


සස්කච්වාන් හී ඇති දෙවන යුරේනියම් පතලය වන සිගාර් ලේක් හි යොදාගන්නේ ඉහත ක්‍රමවලට හාත්පසින්ම වෙනස්, අධි පීඩන ජල පිහිරකින් (high pressure water jet) යුරේනියම් අඩංගු පාෂාණ ස්ථරය කැබැලි කරන්නාවූ ක්‍රමයකි. ශක්තිමත් පාෂාණ ස්ථරයක් මත පිහිටා ඇති මේ යුරේනියම් නිධියට ඉහලින් ඇති පාෂාණ ස්ථර, සියල්ල තිරස් දෝණා කැපීමට නුසුදුසු තත්වයේ පැවතීම මෙවැනි විශේෂ ක්‍රමයක් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවයි.


[photograph from www.cameco.com]

මේ කැණීම් ක්‍රම තුනේදීම, කැණීමෙන් පසුව සෑදෙන විශාල සිදුර, කොන්ක්‍රීට් මිශ්‍රණයකින් පුරවා වසා දමනු ලබයි. සියල්ල අවසානයේ සිදුවන්නේ, යුරේනියම් නිධිය ක්‍රම ක්‍රමයෙන් කොන්ක්‍රීට් නිධියක් බවට පරිවර්තනය වීමයි. මේ විදිහෙන් හිස්තැන් පිරවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ, එසේ නොකෙරුවොත්, පතලය ඇතුලත භූ ස්ථරවල ඒකාග්‍රතාව පවත්වාගන්නට නොහැකිවන නිසයි. කොටින්ම කිව්වොත්, පතලයම කිඳා බහින්නට පුළුවන්.

මේ විදිහෙන් රාජකීය වල් නොහාරා, පොළව මතුපිට සිට හිල් විදීමෙන් පමණක්ම, අර මල නොතලා රොන් ගන්නා සේ යුරේනියම් නිස්සාරණය කරගන්නා ක්‍රමයකුත් භාවිතා වෙනවා. දැනට මේ ක්‍රමයේ යුරේනියම් ආකර, ඇමරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග් ජනපදයේත්, කසාක්ස්ථානයේ ඉන්කායිහීත් තිබෙන බව කැමිකෝ කොම්පැණියේ ජාල අඩවිය කියනවා.

මේ ක්‍රමයේදී වෙන්නේ, නල ලිඳක් විද, පොළව යට පාෂාණ ස්ථරවල ඇති යුරේනියම් සංයෝග ද්‍රාවණය කල හැකි ද්‍රවයක් පොළව යටට විදීමයි. විදින ලිඳ වටකර විදි, තවත් ලිං පන්තියකින්, පොළව යටදී යුරේනියම් වලින් සංතෘප්ත වන මේ ද්‍රවය නැවත පොලව මතුපිටට පොම්ප කරනු ලබනවා. මේ දියකර ගොඩ ගැනීම නිසා, පතලයක් හෑරීමක් නැහැ.





[photograph from www.cameco.com]

මේ ආකාරයට යුරේනියම් ගොඩගන්නට ඇමරිකාවේ ආකර වල  අංගාකරිකාම්ල (carbon dioxide) ද්‍රාවණයකුත්, කසාක්ස්ථාන ආකර වල සල්පියුරික් අම්ල ද්‍රාවණයකුත් යොදා ගනු ලබනවා. වැඩි කලබල, හෑරිලි, දැඟලිලි රහිතව කරන්න පුළුවන් කාර්යයක් නිසා වඩාත් උචිතය, පරිසර හිතකාමීය සේ වර්ග කෙරුනත්, මේ ක්‍රමය යොදාගත හැක්කේ, පහසුවෙන් දියවන යුරේනියම් සංයෝග, අඩු සංයුතියකින් පොළව තුල විසිරී ඇති නිධි සඳහායි.


ආශ්‍රිත ජාල සටහන්:
https://en.wikipedia.org/wiki/Abundance_of_elements_in_Earth%27s_crust
https://www.cameco.com/businesses/mining-methods


https://www.cameco.com/businesses/uranium-operations/canada/cigar-lake.

https://www.credit-suisse.com/corporate/en/research/research-institute/global-wealth-report.html


Continue Reading...

Saturday, November 11, 2017

ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම



ලංකාවේ බටහිර වෙරල තීරය දිග කතෝලික පල්ලියක් මුණ නොගැසී ගමන් කිරීම උගහටය. එයිනුත් කතෝලික දේවස්ථාන ඝනත්වය නිසාම පුංචි රෝමය කියා කියැවුනු මීගමුවේ සිට හලාවත දක්වා ඕනෑම ඉරිදා දවසක ගමනක් යන කෙනෙකුට අඩුම ගණනේ මංගල්ලයක් පැවැත්වෙන එක කතෝලික දේවස්ථානයක් හෝ හමුවෙතැයි මට සිතෙයි. ගිං ඔය පාලම පැන්නාම පටන් ගන්නා අපේ අම්මා තාත්තාගේ ගම වූ නයිනමඩමේ හිට ගණන් කලොත් වෙන්නප්පුවේ මහ පල්ලිය ලඟට එද්දී, දල වශයෙන් ගත්තොත් කිලෝමීටරයකට පල්ලියක් බැගින් වාගේ තියේ. මේ ඉලක්කම, බොහෝවිට හලාවතට යනතුරුම එසේම වන්නට පුළුවන.

කතෝලික දේවස්ථානයක් යනු යම් ශුද්ධවරයකුගේ නමින් නම් කෙරෙන පූජනීය ස්ථානයකි. රෝමානු අධිරාජ්‍යයට ගැත්තන් වූ පූජක/පාලක පන්තියක් විසින් කුරුසියක එල්ලා මරා දැමුනු ජේසුස් ක්‍රිස්තුස් ගේ අනුගාමිකයින් විසින් පිහිටවනු ලැබූ කතෝලික පල්ලියට අනුබද්ධ ශුද්ධවන්තයින් ගණන දහ දොලොස් දාහක් පමණ වෙයි. අවුරුදු දෙදාස් පහලවකට පසුව ලංකාවටත්, ලංකාවේය කියන්නට පුළුවන් ශුද්ධවන්තයෙක් ලැබුණේය. ඒ දෙදාස් පහලවේ ජනේරුවේ දී, ලංකාවට පය ගැහූ පාප්වහන්සේ ගාළුමුවදොර පිට්ටනියේ දී, ඕලන්දක්කාරයින්ගේ කාලයේ දී, ගෝවෙන් ඇවිත් උඩරට රජ්ජුරුවන්ගේත් සහයෝගය අරගෙන ලංකාවේ කතෝලික සමය නැසෙන්නට නොදී රැකගත් ශාන්ත ජෝශප් වාස් පියතුමන් ශුද්ධවන්ත තත්වයට උසස් කල වෙලාවේය.

මං දන්නා තරමින් ඒ වෙද්දී ජෝශප් වාස් පිළිරුවක් තිබුණේ, වෙන්නප්පුවේ අපේ ඉස්කෝලේ ඉස්සරහාය. තාමත් ඒක එතැන තිබේ. ඒක හැදුවේ වෙන්නප්පුවේ සුරුවං හදාපු එකම එක්කෙනායි මට මතක තියන බෙන්ජමින් අයියාය. වෙන්නප්පුවේ පල්ලිය ඉස්සරහ තියන ක්‍රිස්ටෝපර් මුනිවරයාගේ සුරුවමත් බෙන්ජයියා ගේම නිර්මාණයකි. නවසිය තිස් හතරේ මීගමුවේ මාරිස්ටෙල්ලාවට අනුබද්ධිතව මාරිස්ට් නිකායේ සහෝදරවරුන් විසින් ඇරඹුණු ජෝශප් වාස් කොලීජිය පටන්ගන්නට හේතුව, ඒ වෙද්දීත් පල්ලියට අනුබද්ධිතව පැවැත්වුණු සිංහල ඉස්කෝල වලට අමතරව ප්‍රාදේශීය ඉංග්‍රීසි ඉස්කෝලයක අවශ්‍යතාව තදින් දැනෙන්නට වීම බව ජෝශප් වාස් විදුහල් වෙබ් අඩවියේ ඉංග්‍රිසියෙන් ලියා ඇති සංක්ෂිප්ත ඉතිහාස කතාව කියයි.

http://www.josephvazcollege.lk/About-JVC/History/A-Brief-History.aspx

යටත් විජිත සමයෙන් ඇරඹී අපේ පලාත්වල පල්ලිය, ආගම හා අධ්‍යාපනය අතර තිබුණු මේ සහ සම්බන්ධය පසුපස, දරුවන් සිය ලබ්ධිය සමග බැඳ තැබීමේ මූලික අභිප්‍රාය නිරනුමානයෙන්ම තිබිණි. ඒ දවස්වල අපේ පැත්තේ කතෝලික කලාලයේ බෞද්ධ රටාවක් තිබුණා නම් තිබුණේ දුම්මලදෙණියේ පන්සලය. පහු කලක කෙසේ වෙතත්, අපේ මාමලා කුඩා කාලයේ සිංහල ඉගෙන ගන්නට, නයිනාමඩමේ හිට දුම්මලදෙණියේ පන්සලට ගිය කතාත් තිබේ. එහෙයින් මේ මිනිසුන් ආගම් දෙකක් හෝ ජාතීන් දෙකක් ලෙස වාද භේද වී සිටියා ද යන්න සැක සහිතය. ඉස්කෝලේ හතරවෙනියේ පස්වෙනියේ ඉගෙන ගන්නා කාලයේ බාප්පාගේ පොත් අල්මාරියේ තිබී කියවූ, 'කන්නි මරියාගේ හැටි' වැනි, පානදුරා වාදයේ හෙවනැලි වලත්, කොළඹ සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සදාසරණ පින්තූරය යට පිං කැටයට, සිය අනාගත අපේක්ෂාවන් ලියූ ලියුමක් දැමීමෙන් ක්‍රියාත්මක වූවා යි අසා ඇති 'කැතලික් ඇක්ෂන්' ඉතිහාස කතා වලත් නම් ඔය භේද භින්න කම අඩු වැඩි නොවී තිබුණි.

මේ ඉතිහාස අඩුම කුඩුම ලිව්වේ, මුල් කාලයේ අඩුම ගණනේ අපේ පැතිවල කතෝලික පල්ලි අනුබද්ධිතව තිබුණු ඉස්කෝල, ධනවතුන්ට සේවය කල ඉංග්‍රිසි කොලීජි නොවූ බවත්, හැට ගණන්වල ඉස්කෝල ආණ්ඩුවට පවරා ගැනීම හින් දා ආණ්ඩුවේ ඉස්කෝලයක් වුනු ජෝශප් වාස් විද්‍යාලය, තිබුණු පල්ලි ඉස්කෝල වල උගැන්නුවේ සිංහලෙන් හින්දා දැනුනු, ඉංග්‍රිසි කොලීජියක අවශ්‍යතාව පිරිමහා ගන්නට තැනුනක් බවත් ලියා තැබීම සඳහාය. ඒ මොන ආකාරයෙන් වුනත් මගේත් ඉස්කෝලය වූ ජෝශප් වාස් විද්‍යාලය උපතේ හිටම පාලනය වුනේ පැවිද්දන් වූ මාරිස්ට් සහෝදරවරුන් අතිනි.

එසේ වූ අපේ ඉස්කෝලේ උපැවදි වුනේ හැත්තෑ එකේ දීය. මට මතක හැටියට හැත්තෑ එකේ ජනේරුවේ දී විතරය. ඒ හැත්තෑවේ ආණ්ඩුව පෙරලී, හත් හවුල වෙනුවට තුන් හවුලට රට භාර වී මාස ගණනකට පස්සේ, විශ්‍රාම ගිය එවකට ප්‍රින්සිපල් වූ ස්ටැන්ලි ගුණවර්ධන මාරිස්ට් සහෝදර තුමන්ගේ තැනට, පැන්ටලියන් කුරුකුලආරච්චි නම් වූ 'ගිහි විදුහල්පති' වරයාගේ ආගමනයෙනි.



එතෙක් කල්, පෞද්ගලික පාසලක් ලෙස වුව ද, නවසිය හැටේ ඉස්කෝල ආණ්ඩුවට ගැනීමෙන් පසු  රජයේ පාසලක් ලෙස වුව ද, අපේ ඉස්කෝලේ ප්‍රධානාචාර්ය පදවිය තිබුණේ මාරිස්ට් සහෝදර වරුන් අතේ ය.

http://www.josephvazcollege.lk/About-JVC/History/Past-Principals.aspx

ඒ සමිප්‍රදාය කඩා සිදුකල මේ වෙනස, සියයට සියයක්ම දේශපාලනික වෙනසක් වූ අතර, අද ආපසු හැරී බලද්දී, පාසැලේත්, ප්‍රදේශයේත්, යහපත් සංවර්ධනයක් ඇති කරන්නට හේතු වූ, දුර දිග බලා ගත් තීරණයක්, ක්‍රියාත්මක කරන්නට නිර්භීතව දේශපාලන බලතල යොදාගත් අවස්ථාවක් ලෙස මම දකිමි. මන් ද අද පවතින ජෝශප් වාස් විදුහල උපන්නේ එදා සිදුවූ ඒ වෙනස තුලින් බව එදාටත් වඩා අද පැහැදිලිව දකින්නට හැකි බැවිනි.

හැත්තෑ එකේ දී දහවෙනි ය‍ේ නැත්තං අපොස සා.පෙ. දෙවෙනි වසරේ විද්‍යා පන්තිය තිබුණේ, ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ, හරියටම විදුහල්පති ග‍ේ කාමරයට ඉහලින් වූ පන්ති කාමරයේ ය. ඉන් එහා බ්‍රදර් ලාගේ කාමර විය. අනික් පැත්තෙන් පඩි පෙලය. පඩි පෙල මගක් ගොස් දෙකට නැවී ආයෙත් පහලට බසී. පඩි පෙල නැග්ග තැනම, උඩ තට්ටුවේ ගරාදි වැටට උඩින් බාල්කයේ, ඉස්කෝලේ කාලගුණ යන්ත්‍රය වූ ගුණරත්න පැයෙන් පැයට පංති කාල පරිච්ඡේද වෙන් කරවන්නට නාදකරන සීනුවය.

එල් අකුරු හැඩයට විහිදුනු මේ ප්‍රධාන ගොඩනැගිල්ල එල් අකුරු හැඩයේම වැලි මිදුලකින් ක්‍රීඩා පිටිය අයින දිගේ බොක්ස් වැට මායිමෙන් වෙන්වී තිබේ. ඉතින් අපේ පන්තියෙන් ඉළියේ ඉස්තෝප්පුවේ ගරාදිය අහල සිට ගත්තාම, අර වැලි මිදුල උඩ සිද්දවන දේවල්, ඉතා නිරවුල්ව දකින්න ට පුළුවන. එදා අළුත් ප්‍රින්සිපල් ආපු දවසේත් වෙනදා වගේම උදේ මේ වැලි මිදුලට ඉස්කෝලේ සියළුම ළමුන් එක් රැස්වුනු ඇසෙම්බ්ලියක් තිබුණි. සුදු කමිසයට රතු ටයි එකක් දැමූ අළුත් ප්‍රින්සිපල් හා ගුරුමණ්ඩලය ඉස්තෝප්පුව උඩත්, ළමයින් සියළු දෙනා මිදුලේත් සිටි අතර, චැපල් එක කෙළවර ආදි සිසුන් පිරිසකුත් රැස්ව සිටියහ. කතා බව ඉවර වී ළමයින්, පංති කාමරවලට පිටත් වූ මොහොතේ වගේ, ඉහල පන්තියක  එක ශිෂ්‍යයෙක්, අත් උස්සා උඩ පැන කෑ ගසා,

"ගිහි විදුහල්පතියෙක් අපට එපා... මූට හූ කියපියව්" යැයි කාටත් අැහෙන්නට ආරාධනයක් කළේය....


ඒ එක්කම චැපල් එක කෙළවර රැස්ව සිටි අය අතරින් රතිඤ්ඤා වැලක් පත්තු විය. මේ කලබලය අස්සේ පංති කරා ගමන් කරමින් සිටි ළමෝ සියළු දෙනා පන්ති අයිනේ ඉස්තෝප්පුව දිගටත්, ඉහල මාලයේ ගරාදිවැට දිගටත් පෙළ ගැසී සිටියහ. අපේ ඉස්කෝලේ කණ්ඩායම් හූවක් නැගුණු පළමු වතාව ඒ වෙන්නට ඇත. එයිට කලින් පළාත දෙදරන්නට ඒ වැනිම හූ හඬක් මා අසා තිබුණේ, හැට පහේ චන්දයට වෙන්නප්පුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ෆෙස්ටස් පෙරේරාගේ නිවස ඉස්සරහම වාගේ පාරෙන් අනික් පැත්තේ, දාමස් ඉස්කෝල මහත්තයලාගේ වත්තේ තිබුණු ශ්‍රී ලංකා රැස්වීම අමතන්නට, ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආපු අවස්ථාවේ දීය. හැටේ ඉස්කෝල ආණ්ඩුවට අරගන, කතෝලික පලාත්වල අප්‍රසාදයට ලක්ව සිටි මැතිණියගේ කථාව පටන් ගත් වෙලේ සිට ඉවර වෙනතුරුම පළාත පුරාම හූ හඬින් ගිගුම් දුන් එදා සිහි කරන විට හිතෙන්නේ, ඩාවින් පරිණාමවාදය වරද්දා ගත්තා විය යුතුය කියාය.

පොලිසිය ඇවිත් අර ළමයාව කුදලාගෙන, රතිඤ්ඤා කාරයින්වත් අකුලාගෙන යනතුරම ඉස්තෝප්පුව දිගටත් ගරාදි වැට දිගටත් පෙළ ගැසී සිටි බොහෝ දෙනෙක්, මේ ජාතික ගීත ගායනයට එක්වූ බව මතකය.

විරෝධය එච්චරය. පොලිසිය ගියායින් පස්සේ, පංතිබාර ගුරුවරු ඇවිත් ළමයින් පංතිවලට යැවූ අතර, එදා දවසවත් වෙනදා වාගේම ඉස්කෝලේ වැඩ කටයුතු කෙරිණි. පෙනුමට වූයේ එපමණක් නමුත්, මේ සිදුවීම පසුපස, සංවිධානාත්මක දේශපාලන කාර්යයක් සිදුවී තිබුණි. බ්‍රදර් ප්‍රින්සිපල් ගේ විශ්‍රාම යාමෙන් පසුව විදුහල්පති වීම සඳහාම විශේෂයෙන් තෝරා එවූ මාරිස්ට් සහෝදරතුමෙක් ඒ වන විටත් විදුහලේ සිටි අතර, හැත්තෑවේ ඡන්දයෙන් වෙන්නප්පුව ආසනය, එ.ජා.ප. යට හිමි වූවා නම්, අපේ ඉස්කෝලේ හත්වෙනි විදුහල්පති වරයා බ්‍රදර් සයිමන් වන බව ස්ථිරය. 

හොංකොං නුවර මාරිස්ට් පාඨශාලාවක ගුරුවරයෙක් ලෙස සේවය කර පැමිණ සිටි බ්‍රදර් සයිමන්, අපේ පංතියේ සිංහල ගුරුවරයා විය. එසේ සැලසුම් කර තිබූ ආණ්ඩුවට ගත්තත් ඉස්කෝලය බ්‍රදර්ලා අතේ තබා ගැනීම උඩුකුරුංඤ්ඤං වූයේ හැත්තෑවේ දී අපේ පැත්තේ මිනිස්සුත් අලි නැට්ට අතහැර, අතට කතිරය ගැසීමේ හේතුවෙනි. එසේ වුනත් අන්තිම මොහොත දක්වාම, නොපසුබැට උත්සාහ කරන්නටත් සැලසුමක් තිබුණු අතර, අන්තිම තුරුම්පුව වූයේ, බ්‍රදර් ප්‍රින්සිපල්, අළුතෙන් එන ප්‍රින්සිපල්ට වැඩ බාර නොදී, බ්‍රදර් සයිමන්ට ඉස්කෝලය බාර දීමට සකස්කර තිබූ ප්ලෑන් එකය. මේ වැඩේ ලොප් වුනේ, ෆෙස්ටස් පෙරේරාත්, පල්ලියේ ස්වාමිත් තවත් කීප දෙනෙකුත් මැදිහත් ව සිද්ධ වූ මේ පිඹුරුපත් ගැසිල්ල, රහසක් ලෙස තියාගන්නට නොහැකි වීමෙන් හා බ්‍රදර් ප්‍රින්සිපල්, නීති විරෝධී වූ යමක් කරන්නට නම්මා ගැනීමට නොහැකි වීමෙන් යැයි අපේ ගෙදර කතා බහ වලින් මා උකහාගත් දේ ය. ඉස්කෝලේ මේ වෙනස් වීම් පසුපස අපේ තාත්තාගේත් භූමිකාවක් තිබූ නිසා, උකහා ගත්තා කීමත් එතරම්ම නිවැරදි නොවේ. බේබි මහත්තයාගේ මේ අතුරු කතාවල් ගැන පරණ සටහනක් මෙතැනම තිබේ.

පැන්ටලියන් සර් බාර ගත්තේ බැරෑරුම් කාර්යයක් බව කිවයුතු නැත. බ්‍රදර් යවලා, ගිහියෙක් විදුහල්පති කල පමණින් ඉස්කෝලයක් හැදෙන්නේ නැත.ඒක කරන්නේ කොහොම ද, කෙරුවේ කොහොමද කියා අංශුවෙන් අංශුව විග්‍රහ කරන්නට මා නොදන්නා මුත්, දන්නා තරමින් නම් මේ වැඩේ කෙරුණේ, තම වෘත්තිය කැපවීමෙන් කරන්නටම කැපවුණු ගුරු මණ්ඩලයක් පත් කිරීමත්, ඔවුනට ඒ කටයුත්ත කරන්නට ඉඩ කඩ, අවසර හා අවශ්‍යවූ මූලික අවශ්‍යතා සපුරන්නට සැදී පැහැදී සිටින්නට පැන්ටලියන් සර්ට හැකි වූ නිසාත් බව නම් කියන්නට පුළුවන.


මේවා මෙහෙම වුණත්, අපේ ඉස්කෝලේ හා හපුරා කියා පැන්ටලියන් සර්ගෙන් වේවැල් පාරක් කෑවේත්, දහය විද්‍යා පංතියේ මොනිටර් වූ මමම ය. ඒක වෙනමම ලිවිය යුතු කතාවකි.

අපේ ඉස්කෝලය මෙසේ උපැවදි වී සිදුවූ වෙනසේ තරමත්, ජෝශප් වාස් විද්‍යාලයත් විද්‍යාලයක් වී ඇති බවත් හරියටම පැහැදිලි වූයේ නවසිය හැත්තෑ හතේ දී ය. හැත්තෑ හතේ එක්සත් ජාතික පක්ෂය ඡන්දය දිනුවාට පසුවය. එතෙක් මාරිස්ටෙල්ලා, ඩි මැසනඩ් ආදී කතෝලික හා කොළඹ ඉස්කෝල වලට ගිය පලාතේ සල්ලිකාර දරුවන් කීප පලක්ම ඒවායෙන් ඉවත්වී ජෝශප් වාස් ඒමත් ඒ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දක, පැන්ටලියන් සර්ගේ සේවය අගය කරමින් උපහාර උලෙලක් තිබීමත්, ජෝශප් වාස් කොලේජ් එක ගැන, ආඩම්බරෙන් කතා බහ කරන ලොකු ලොකු අයගේ කතාබහත් සිද්ධ වුනේ, එදා හූ සංග්‍රහය සංවිධානය කරන්නට පෙළඹුනු කාණ්ඩයේම අනුග්‍රහයෙනි.

ඒ කාලයේම ඉස්කෝලේ මුළු පිට්ටනිය පිරෙන්නට තැබුණු කානිවල් එකක් සඳහා ඉස්කෝලේ ගේට්ටුව හරහට බැඳුණු තොරණක හිස සාදා තිබුණේ කරකැවෙන ඔටුන්නක හැඩයට ය. ඒ තොරණ යට හිටගෙන, ජේ. ආර්. ජයවර්ධන අළුත් ජනාධිපති තුමා,

"දැන් මේ භූමියට ඇතුළුවෙන තොරණ මුදුනේ ඔටුන්නක් තියනවා... ඒ වගේ ඔටුණු පලන්දලා අපි මේ රටේ ජනතාව රජ කෙරෙව්වා...." .

කියා පාරම් බානවා අසා සිටියාත් මතකය.

මේ ඔටුනු තොප්පි දමා ගැනිලි කවුරු කොහොම කලත්, අපේ ඉස්කෝලේ හැත්තෑ එකෙන් පටන් ගෙන සිදුවූ පරිවර්තනය දකින්නටත්, එයට දායක වන්නටත්, ඒ වැඩේ කල කී අය, ඇසුරු කරන්නටත්, ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නටත් ලෑබීම, අපි කාගේත් ජීවිත කතාවල් වෙනස් කල කාර්යයක් බව ලියා තැබිය යුතුය.

මේ ලිපියේ ඉස්මුදුනේ ඇති පින්තූරයේ, වාසියන් කෙනෙක් වීමේ ආඩම්බරය ගැනත් සඳහන් වී ඇත්තේ ඒ නිසාය.

ඉස්කෝලයක් ඉස්කෝලයක් වන්නේ, හිතක් පපුවක්, මොළයක් කොන්දක් ඇති දරුවන් තනන ආයතනයක් වීමෙන් මිස, පල්ලියක්වත් පන්සලක්වත් කෝවිලක්වත් වීමෙන් නොවේ.

Continue Reading...

Thursday, November 9, 2017

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... [තරුරසී ගේ ‘‘තරු ඇස් රහස්‘‘ ]

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... මයිකල් රුද්‍රිගු පිය මතකය

බුත්තල, අළුකලවිට ගම්මානයේ කුඩා පැලක දිවි ගෙවමින්, ජනතාව සමඟ එක්ව වැඩකරමින් උන් මයිකල් රුද්‍රිගු පියතුමා මරා දමා මේ ඉල් මහේ 10 වන දිනට වසර 30 කි. අළුකලවිට මයිකල් පියතුමාගේ ගෙපැල සුබසෙත් ගෙදර නම් විය. අදත් එය හැඳින්වෙන්නේ එනමිනි.

2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ 12 කණුව අසල ‘‘සුබසෙත්ගෙදර‘‘ මට මගේ ම ගෙදර තරමට හුරු වී තිබිණි. ළ.ක්‍රි.වී. කටයුතු වෙනුවෙන් අපි වසරකට දෙවතාවක් හෝ තුන්වතාවක් බොහෝ විට බුත්තල ගියෙමු. වසර මුල අනුශාසක පුහුණුව, වසර මැද ළමා වැඩමුළුව, වසර අවසන ප්‍රාදේශීය සමුළුව වශයෙන් ඒ ආ ගිය ගමන් ගැන හදවතෙහි සොඳුරු මතක සැමරුම් රැසක් ශේෂ ව පවතී.

මයිකල් රුද්‍රිගු පියතුමා නාඳුනන තුවක්කරුවකු අතින් ඝාතනය වුණේ සුබසෙත්ගෙදර පුංචි මැටි පැලක ය. අද එය ම ගඩොලින් තනා උළු සෙවිල්ලූ කුඩා නිවසකි. නමුත් තුවක්කු කට කුරුමානම් ඇල්ලු කවුළුව එය ම ය. ඒ පුංචි කුටිය තවමත් ඒ මතක සටහන් රන්දාගෙන නිසොල්මන්ව හිඳි.

බුත්තල සහ අලුකලවිට ගම්මානයේ අප සමඟ කටයුතු කළ තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේම පියවරුන් නොවුණි. 88-89 භීෂණ සමයේ ඒ පියවරුන්ගේ ජීවිත උදුරාගෙන තිබූ හෙයිනි. ඒ අවට බොහෝ පවුල්වල පියවරුන් ඒ අන්ධකාර සමය විසින් බිලිගෙන තිබුණි. එවන් අවිචාර සමයක ය මයිකල් පියතුමා ද මරු කටට බිලි වූයේ.. ඒ ආගිය ගමන්වලදී පියතුමා මරා දැමුණු තැන මොහොතක් ගතකරන්නට අමතක නොකළෙමි. ඇත්තෙන්ම එතුමා මගේ ජීවිතයේ වීරයෙකි. කාලයේ වැලි තලාවෙන් වැසී අමතක වී ගිය තවත් එක් මරණයකි ඒ. අදටත් ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු වී නොමැත.

විමුක්ති දේව ධර්මය හදාරමින් සිටියදී මයිකල් රුදිගු පියතුමාගේ ජීවන දර්ශනය සහ ජීවිතාදර්ශය පන්ති කාමරයෙන් මිදි හද ගැඹර කම්පනය කළ මොහොතක මාතින් ලියැවුණු කවියකි මේ.

වෙල්ලස්සේ සැරිසරන පේ‍්‍රමයේ ආත්මය...

ගෙන යා හැකි ඔබට මා
නිසල සිරුර
පෙර දවස මවිසින්
පිළිකෙව් කර අතැර ආ
එනුවරට..
හිස් දෙපතුළින් පිටුපා ඇවිද ආ
ඒ කටුක මඟ දිග ම
මල් පාවඩ අතුරමින්
මා නමින්...

නමුදු මා ආත්මය මෙහි ය...

වෙල්ලස්සේ හේන්, කෙත්වතු
පිස හමා එන
කටුක දාඩිය පුසුඹ සිඹිමින්
පැලක ඇවිළෙන සුදහ ගින්දර
සුසුම් උණුහුම ළයෙහි රඳමින්
සැරිසරන්නෙය මා ආත්මය
මේ බිමෙහි ම............

රුදුරු අතෙකින් මිදුණු උණ්ඩය
දැදුරු කළ විට ඉහ මොළ
මහත් අදරින් වැළඳ ගත්තෙමි
මේ කඳුළු බිම.....
හරිත පැහැසර දිවිය තෙදබල
නොමසුරුව පැහැදූ
දිළිඳු දෑසක නැඟෙන කඳුළක
සිහිල සිත රැන්දූ.....

අවසන් නිමේෂයෙ
ම’දෑතින් එසැවුණු
මිදි යුෂ කුසලාන
පිරුණි රුහිරෙන්ම..
සමවනු කෙලෙස ඒ ලෙය
හෙරොද් වධකාගාරයෙහි
කපාල දුර්ගයෙහි
කල්වාරි කඳු මුදුනෙහි
ගලා ගිය ලේ කඳට.......

සසලවා ළය
පේ‍්‍රමයේ මඟ
කියා දුන් ඒ
රුහිරු ගඟුලට.......

‘‘ෆාද මැරුණෙ අපි වෙනුවෙන්. සභාවත් නෑදෑයොත් එකතු වෙලා ෆාදගෙ මලකඳ කොළඹට අරන් ගියා. ඒත් ෆාදගෙ හොඳම හරිය මෙහෙ. ඇස් දෙකයි, මොළෙයි, ලේ ටිකයි... ඒවා තැන්පත් කළේ මේ බිමේ. මේ පොළවෙන් උපදින අල කොල ගෙඩි කාලා හැදෙන අපේ ළමයි ෆාද පැතූ සාධාරණ ලෝකය ගොඩ නගාවි...“
- බුත්තල ගැමියෙක්

‘‘තරු ඇස් රහස්‘‘ 48 -49 පිටු




Continue Reading...

Friday, November 3, 2017

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා...

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා
මගෙ ඇඟිල්ලත් කැපුණා
මේ ගල්පඩි පෙලේ දිගටම
වීදුරු කෑලි තිබුණා

තාත්තාට කියලා මං
ආයෙත් බාල් නැටුමක් නටවන්නම්
ඔයා කොහොම හරි එන්න ඕනා
එදා වගෙම මා එක්ක නටන්න ඕනා
මං නවත්තනවා ඔරලෝසු
මකනවා දොලහෙ ඉලක්කම
ඒක එලිනොවන රැයක් වෙයි
නොනවතින බාලක් වෙයි

මට ඒත් විශ්වාස නෑ
මේ මාලිගාවේ මං නොදන්න
කාමර තියනවා
අවිශ්වාස කට්ට්ය ඉන්නවා
ඔරලෝසු වල සීනු තියනවා


ඒක හින්දා සින්ඩරෙල්ලා
වීදුරු සපත්තු එපා
කොහොම හරි කරලා
යකඩ සපත්තු දෙකක්
දාගෙන එන්න.....!

Continue Reading...

නොපිපි මල්...!

දම් පැහැ අහසක - පඬු පැහැ සඳ යට
නිදිමත පහනක ඇස් මානේ
අප හමුවුදා නොපිපුනු මල් පෙති
නොපිපෙනු ඇත කවදාවත් ආයේ

අළු දැරියයි ඔබ මහ රෑ මැදියම
මායාවෙන් නිදිගැට දුරලූ
පලිඟු පා වැසුම
මග ඉහිරී ගිය
සී සී කඩ විසිරී බිඳුණු

සෙව්වන්දිය පෙති තවරා වැසුවත්
සුව වෙද සීරුම් කැලැල් මැකී
මල සිඹි දා හිත
පාරා රිද වූ
නටු අග රැඳවුණු වියරු කටු


Continue Reading...

Wednesday, November 1, 2017

‘සැතපෙන්න සාමයෙන්...!’

අම්මාත් තාත්තාත්
ලොකු නංගීත් අයියාත්
වල දැමූ වල ඉහත්තාවේ
ඉටි පහන් දැල් වූ චූටි නංගී
මා අසල සිටගෙන මුමුණයි

“ඔන්න අපි ආව
ගෙදර කට්ටියව බලල යන්න...”

යන්තමින් මුදුනෙන් මෑත් වූ ඉර
අප පසු පසින් පැමිණ
අපි දෙන්නාගේ ම හෙවනැලි
මිනී වල වැහෙන්නට
සළකුණු කර බලා සිටී

දැල්වෙන ඉටි පන්දම් සිළු
නිවෙන්නට ද නොනිවෙන්නට ද
හිත හදා ගන්නට නොහැක්කාක් මෙන්
සුළඟ සමග ඔට්ටු වෙයි

ලොකු නංගීගේ නම ලියූ ඵලකය පාමුල
පරව වියලී දිරායන
මල් පොකුරක සුන්බුන්
තවමත් තිබේ

ඇගේ උපන් දිනයට
හැම වසරකම වාගේ
මල් පොකුරක් රැගෙන
මස්සිනා ඈ බලන්නට එනබව
නංගී කිවූ වග මට සිහිපත් වෙයි

සුසානය කෙළවරක
ගල් කුරුසයක් මත ඇණ ගැසූ
කෙළවරක් කැඩීගිය සිමෙන්ති තටු විහිදා
ඉගිල යන්නට තතනන දේව දූතයෙක්
‍දෑත රැඳි සාළුවේ ලියා ඇති වදන්
මට පෙනෙන්නට ඔසවා පෙන්වයි...
‘සැතපෙන්න සාමයෙන්...!’


January 26, 2014



Continue Reading...

චාර්ල්ස් වගේ ලිවීම


අපේ බාප්පා සිංහල පත්තර සඟරා හැම එකම මිලදී ගත්තේය. ඒ කාලයේ මාසිකව පළවූ රසවාහිනි, ශ්‍රී, නවයුගය ආදී හැම සඟරාවකම අළුත්ම පිටපත සීයලාගේ ගෙදර තිබේ. එයිට අමතරව සතිපතා පුවත්පත් සේරමත්, ඉරිදා පත්තර සේරමත් එහේ තිබුණි. ඉරිදා පත්තර නම් අපේ ගෙදරත් තිබුණත්, සඟරා කියවන්නට නම් සීයලාගේ ගෙදරම යා යුතු විය. මේ වායේ පරණ කොපි, පාළු කාමරයක පරණ අල්මාරියක යට තට්ටුවේ එකතු වෙයි. එතැනින් එකක් දෙකක් ගෙදර ගෙනත් කියවා ගිහින් දීමත් මගේත් අයියාගේත් සිරිත විය. මේවා අතරින් රසවත්ම සඟරාව නම් 'රසවාහිනි' යයි.

රසවාහිනිය ඒ කාලයේ නූතන සාහිත්‍ය කලා මඤ්ජුසාව විය. එහි පලවූ නානා ප්‍රකාර ලිපි අතර සාහිත්‍යය කතා, ඉතිහාස කතා මෙන්ම ගුප්ත හා කුතුහලාත්මක දේ පිළිබඳව ලියවුණු දේද තිබුණි. මලවුන්ගේ ඡායාරූප ගැනීම, මිනිස් සිරුරෙන් විහිදෙන ශක්ති වලල්ල ආදී දේ ගැන ළමා කාලයේ සිටම සෑහෙන දැනුමක් අපට ලැබුණේ රසවාහිනියේ ලිපි කියවීමෙනි. මේවා බොහෝ විට ඉංග්‍රිසි සඟරාවල පලවූ දේවල් සිංහලට පෙරලා පලකල දේවල් වීමට ඉඩ තිබේ.

රසවාහිනියේ මට මතක ඇති එක ලිපියකට අනුව, ශබ්ද තරංග නැසෙන්නේ නැත. ඒවා වායු ගෝලයේ සැර සරමින් තිබේ. ඒ අනුව බුදුන් දෙසූ දම් දෙසුම් පවා, නැවත අසන්නට පුළුවන් ස්ථාන භාරතයේ තිබුණි. අර ශබ්ද තරංග කැරකී අවුත් එතැන දී එකතු වූ විටක අර පරණ දම් දෙසුම් ඒ ආකාරයෙන් ම ඇසෙයි. අනුමානයක් නැතුව අළුත් ව්‍යවස්ථාවක්  සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට කතා කරන විමල් වීරවංශ මහතාත් මේ ලිපිය කියවා ඇතැසි සිතේ.

මෙවැනිම තවත් ලිපියකට අනුව, මියගිය ප්‍රාඥයින්ගේ චිත්ත තරංග විශ්වය පුරා විසිරී තිබේ. ඔවුන්ගේ ආත්මයෝ නොනැසී, මේ සක්වල පුරා සැරිසරති. මළවුන් කැඳවීම, ඔවුන් හා කතා බහ කිරීම හා චෛතසිකව සම්බන්ධ වීම ආදී දේ කල හා කරන පුද්ගලයින් පිළිබඳව ද, එක් එක් ආත්මයන් හි විස්තර කියන පුද්ගලයින් පිළිබඳව ද ලිපියක් දෙකක් මේ සඟරාවල පලවීම සිරිතක් වී තිබුණි. මේවා මෙහෙම ලිව්වාම එදා තත්වයත් අද වාගේමය කියා කෙනෙකුට හිතෙන්නටත් පුළුවන.



සිංහල රචනාව ලිවීමේ සමර්ථයා වූ මට ඔය කාලයේ කවදා හෝ ලෝක ප්‍රකට ලේඛකයකු වීමේ අහිංසක බලාපොරොත්තුවක් තිබුණි. ඉස්කෝල පුස්තකාලයේ තිබුණු හැම පොතක්ම පාහේ කියවා තිබුණු මට, ලෝක ප්‍රකට ලේඛකයින් අතරිනුත් හොඳටම හිතට අල්ලා තිබුණු කෙනා, චාර්ල්ස් ඩිකන්ස් ය.

ඒ හොඳම කාලයයි.
ඒ නරකම කාලයයි.
ඒ ප්‍රඥාවේ යුගයයි
ඒ අඥානත්වයේ යුගයයි...

කියා ඇරඹෙන දෙනුවර අන්දරය, ඔලිවර් ටුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැනි කතා ලියූ, වික්ටෝරියානු යුගයේ ලංඩනයේ විසූ මේ කැහැටු ඉංග්‍රිසි මිනිසා අදටත් අකුරු වලින් මිනිසුන් මැවීමේ කාර්යයේ අනභිබවනීයයකු සේ සැලකෙයි. ඉදින් වන්නා නම් විය යුත්තේ එවන් සූරයකු බව මගේ ළපැටි සිතටත් පිළිපන්නේ යැ.

මේ කාර්යය, එනම් ලේඛකයකු වීමේ කාර්යය, ඉබේ සිද්ධවන දෙයක් නොවේ. ආයාසයෙන් සාක්ෂාත් කරගත යුතු දෙයකි. රසවාහිනිය පිහිටට ආවේ එතැන දීය. ලිවීමේ අකුරු වචන ගැලපීමේ කලාව ප්‍රගුණ කරන්නට පහසුම මග නම් ඒ කලාවේ කෙල පැමිණියවුන් හා ඇසුරු කිරීමම වෙයි. අපේ ගෙදර කවුරුවත් ඒ ගණයට නොවැටුන මුත්, අර සක්වල පුරා සැරිසරන මළගිය ලේඛකයින් ගේ, විශේෂයෙන් එක් දහස් අටසිය හැත්තෑවේ මියගිය චාර්ල්ස් ගේ චිත්ත තරංග මතු නොව, සජීවී ආත්මයනුත් අපේ ගෙදර පැත්තේත් නොගැවසෙන්නට හේතුවක් නැත. කළයුතු වූයේ, ඒවා හා චෛතසිකව සම්බන්ධ වීමය. බැඳීමය. එසේ කලාම ඒ චිත්ත තරංග හා ආත්මයන්, මගේ සිතට අදහස්, කල්පනා, එකතු කර ඒවා වචන ලෙස අකුරු ලෙස ගලපා සුසර කරනවා ඇත. මට ඇත්තේ ඔවුන් මේ වැඩය කරන තුරු බාධා නොකර බලා සිටීම පමණි.

මේක මේ ලියන තරම් පහසු වූයේ නැත. හිස් පිටුවක පෑන තබාගෙන දෑස් වසාගෙන, ඩිකන්ස් ගේ පින්තූරයක් හිතේ මවාගෙන වෙන මුකුත්ම නොහිතා, ඔහේ ලියවෙන තුරු බලා සිටියත් ලියවූනේ එහෙන් මෙහෙන් එන වචනයක් දෙකක් පමණකි. සමහරවිට මගේ ඉංග්‍රිසි දැනුමේ මදි පාඩුකම් නිසා ඩිකන්ස්ගේ ඉංග්‍රිසි චිත්ත තරංග සිංහලට හැරවෙනවා හොර වුනා වෙන්නටත් පුළුවන් නිසාත්, එක්කෙනෙක් ගේ චිත්ත තරංග හාම සම්බන්ධ වෙන්නට ඇති සම්භාවිතාව අඩු නිසාත්, වැඩි දවසක් නොගොස් මගේ මලගිය ලේඛක අනුග්‍රාහකයින් අතරට, රබින්ද්‍රනාත් තාගෝර්, ඩබ්ලිව්. ඒ. සිල්වා හා කුමාරතුංග මුනිදාස වැනි පෙරදිග හා සිංහල අයත් එකතු විය.

දිගින් දිගට සති දෙක තුනක් කෙරෙද්දී, මේ අභ්‍යාසයේ යම් විදිහක ප්‍රතිඵල නොතිබුණාම නොවේ. යම් යම් වාක්‍ය ඛණ්ඩ, මට කවදාවත් හිතාගන්නට බැරි තරම් ලස්සණට ලියැවී තිබුණි. මගේ සිංහල රචනා, නිකම් පුංචි කෙටිකතා මෙන්, කතා බහ කරන චරිත, යම් යම් තාත්වික සිදුවීම් වල විස්තර ආදිය අඩංගුව ලියවෙන්නට පටන් ගෙන තිබුණි. ඒක එහෙම වුණත්, නවවෙනියේ දී විද්‍යා අංශයට සමත් වීමත්, ඉන් පස්සේ නවීන විද්‍යාත්මක සොයාගැනීමක් කිරීමේ උවමනාව වැඩිපුර මතුවී ඒමත්, ඕ ලෙවල්, ඒ ලෙවල් විභාග ආදියත් හරහට හිටි නිසා, මේ වැඩේ ටික ටික දියාරු වී ගියේ ය.

මේ සටහන කියවන කාට හෝ මේ වැඩේ ආයෙත් අත්හදා බලන්නට හිතෙනවා නම්, පරිස්සම් විය යුතු කාරණයක් තිබේ. ඔබේ අනුග්‍රාහක ලේඛකයින් තෝරා ගැනීමේ දී, සහසුද්දෙන්ම මියගිය අයම පමණක් තෝරා ගන්නට පරිස්සම් වන්න. මෙයට හේතු දෙකකි.

(1) අර විදිහෙන් නිදහසේ පාවෙන චිත්ත තරංග හා ලේඛක ආත්මයන් තියෙන්නේ මළගිය ලේඛකයින්ට ය.

(2) පණ පිටින් ඉන්නා කෙනෙක්ගේ චිත්ත තරංග යාන්තමටවත් ගෑවුණ බව පෙනෙන ලියවිල්ලක් වැරදිලාවත් ලියවුනොත්..... අම්බානකට කන්නට වෙන්නට පුළුවන.

[ඩිකන්ස්ගේ පින්තූරය විකිපීඩියාවෙනි. රසවාහිනියේ කවරය නන්ද වන්නිනායකගේ බ්ලොග් අඩවියෙනි.  ]
Continue Reading...

Blogroll

About