Wednesday, July 4, 2018

අපේ මේ මන්දාකිණිය ආදරිය...

ක්ෂිර පථය යැයි කීව ද
මහා ඝනඳුරක විසුරුණ
සියක් බිලියන තාරකා වදුලකි
බිඳු බිඳුව බිඳි එළිය බිඳු මිස
අනවරත ආලෝකයක් නම් නැති
තවත් මන්දාකිණි තිබේ අර
විශ්වයේ සෑම මානයකම
ඉමක් කොනක් නොහැඟෙන ඈත
පැතිර විසිරුණු අඳුර තුල
සියක් බිලියන දස දහස් බිලියන
බිඳු බිඳුව බිඳි එළිය බිඳු රොක්වුන
සත්‍යයය එසේ වූ කල
ආලෝකයම හඹා යනු කිම
සොයන්නට පරම සත්‍යයය
අඳුරෙන් උපන් කිසිවකට
අඳුරම මිස අන් යමක්
කෙලෙසක නම් වේද සත්‍යයය?


Continue Reading...

Sunday, June 24, 2018

විශ්වය කාලය හා ඒකාත්මිකතාවය

අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි.

එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවත්නා බවත්, ඒ ප්‍රසාරණ කාර්යාවලිය අතර තුරත්, බිලියන ගණන් තාරකා මියෙමින් උපදිමින් පවත්නා බවත් විද්‍යාඥයෝ උපකල්පනය කරති.

එහෙම බැළුවාම විශ්වය කියන්නේ, එක විදිහකින් නොනවතින ගිණිකෙලි සංදර්ශනයක් මෙන් යැයි මට සිතෙයි. එක් අහස් වෙඩිල්ලකින් විසිරෙන ගින්දර මල් පිපී නිවී යන්නාහාම තවත් අහස් වෙඩිල්ලක් අහසට නැග පුපුරා අලුත් මල් පුබුදුවයි. මේ ගිණි කෙළිය අවසන් වන්නේ, විශ්වයේ ප්‍රසාරණය අන්තයකට ගොස් නැවත සංකෝචනය වීමට පටන් ගැනීමෙනියි කියති. ඒ සංකෝචනය අවසානයේ නැවත මුළු මහත් විශ්වයම, කතාවට කියන්නා සේ අල්පෙනිති හිසක් තරමේ ඒකාත්මිකතාවයකට ගොනු වෙයි. ඒත් ආයෙත් නැවත පිපිරෙන්නටම විය යුතුමය. එනයින්, අර සැලියේ කකුළුවාත් අපත් පමණක් නොව මේ මහත් විශ්වයේ පැතිර ඇති සියළු ග්‍රහ තාරකාත්, දිය පැසෙන තුරු දිය කෙලින්නෝම වෙති.

මේ මොහොත අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාය. මන්දයත් මේ මොහොත ආපසු කවරාකාරයකින්වත් කොහේ කොතැනකදීවත් නැවත ප්‍රතිනිර්මාණය නොවන නිසාය. එසේ නිර්මාණය කරන්නට කවරෙකුට හෝ හැකිවන දවසක් පැමිණියද, ඒ මේ මොහොත නම් නොවන්නේමය.

එසේ ප්‍රතිනිර්මාණය කරනු තබා, සිතේ සිතුවිලිවත් නැවත එලෙසින්ම මවා ගත නොහැකි මොහොතවල් අටෝ රාසියකට අපි ජීවිතය යැයි කියමු. අර විශ්වය අැරඹුණාක් මෙන්ම අපේ ජීවිතවලටද ඇරඹුමක් තිබේ. විශ්වය මෙන්ම අපේ ජීවිතත්, හැදී වැඩී නොනවත්වා ප්‍රසාරණය වෙයි. ඒවායේත් අහස පුරා, නොනවැතීම, අහස් වෙඩි පුපුරා එළිය වෙයි.

පුංචි දරුවන්ට හැමදාම පුංචිවුන් වාගේම ඉන්නට පුළුවන් නම් යැයි අපට හිතුණු හිතෙන වාර ගණන නිමක් නැති මුත් උන් කවදාවත් එසේම සිටින්නේ නැත. එසේ සිටිනවා නම් මෙසේ මෙවැනි සටහන් ලියවෙන්නේත් නැත. සෑම මොහොතකම වටිනාකම රැඳී ඇත්තේ නොනැවතී වෙනස් වීම නම් වූ මේ පුංචි රහසේ ය.  මේ ගලායාම තුල වසරකට වරක් අපි අපේ සිත්වලට බලකර සංකෝචනය වී නැවතත් අපේ විශ්වයේ උපතට හැරී බලමු.

ඉතින් අද දවස, අද මේ මොහොතේ මගේ සිතේ මතුවන්නාක් මෙන්ම, එදා මෙදාතුර ඔබේ විශ්වයේ අහස පුරා පිපුණු දිලිසුණු සියලුම ආලෝක බිඳිති වල ආලෝකය විඳින්නටත්, ඒ සතුට මැද සැනසෙන්නටත් තරම් වාසනාවන්ත දවසක් වේවා.

අම්මා, සුබ උපන්දිනයක්.
Continue Reading...

Wednesday, June 13, 2018

පුංචි කාලේ මොරටු වැල්ලේ....



බැස යන්නට නොහැකිව තතනන
ඉර එළියෙන් රත් පෑ වූ හියුරන් විල අහල
පුංචි නගරයක සිට ලියමි.

හැත්තෑ ගණන් අග හරියේ, කොළඹ සරසවියේ නවකලාගාරයේ දී නැරඹූ බෙංගාලි චිත්‍රපටයක සිතුවම් මාලාවක් නොමැකෙන සේ මගේ සිතේ ඇඳී තිබේ. එය සත්‍යජිත් රායි ගේ යැයි මා අනුමාන කරන නමුදු, නමගම නම් මතකයට නොඑයි. සමහර විට මගේ මතකයේ ඇත්තේ, ඒ සිනමා සිත්තමේ එහෙන් මෙහෙන් අහුලා ගත් දසුන් කීපයක එකතුවක් වන්නටත් පුළුවන. එහෙත් එය එක කතා සිඟිත්තක් ලෙස සිතන්නට මම කැමැත්තෙමි.

ඔන්චිල්ලාවක් පදින  ප්‍රේමණීය වූ තරුණියක් අසල බිම වැතිර කවියක් ලියන තරුණයෙකි. ඒ ලියැවෙන කාව්‍ය ඛණ්ඩත් සිතුවමක් සේ තිරය මත දිග හැරෙයි...

"සියල්ල ඉදිරියටම ගලා යයි
 දිය ඇලි ද ගංගා ද
ඍතු ද අහසේ පක්ෂීන් ද කාලය ද
 මේ සියල්ල ඉදිරියටම ගලා යනවා මිස
කිසි ලෙසකින් ආපසු ගලන්නේ නැත...
ආපසු හැරී යා හැකි
එකම දේ නම්
අපේ සිත්ම, සිතුවිලිම පමණකි..."

අද ආපහු හැරුණු මගේ මතකය, මොරටුවේ සීනායි නම් මැදුරක මිදුලේ විදුලි බුබුලින් එළිය වූ දිය පොකුණක පාවෙන හුලං පිරවූ ඉටිරෙදි හංස රූප රැසක් අසල නැවතී තිබේ. අපේ බාප්පා, අපේ තාත්තාගේ වැඩිමල් මල්ලීගේ මනමාලිය ගේ ගෙදර වූ ඒ නිවසට එදා අප ගියේ ඒ ජෝඩුවගේ අවසර ගැනිල්ලටය යනු මගේ මතකයයි. කුඩාම කුඩා කාලයේ මගේ මතක අතර අවුරුදු තුන හතරේ මේ මතකය අදටත් වර්ණවත්ව මගේ සිතේ දකින්නට මට පුළුවන. ඒ මගුල් ගෙදර මල් කුමාරයින් වූයේ අපේ අයියාත් මමත්ය. අපි දෙන්නා රතු බෝ ටයි බැඳ කොළඹ ඩොනල්ඩ්ස් ඡායාරූපාගාරයේ, මගුල් පින්තූර ගන්නට පොරොත්තු වෙනවාත්, ඒක මහා දිග දවසක් වූ බවත් මට තවම මතකය.

අවුරුදු ගණනාවකට පස්සේ, මමත් මනමාලයකු වී, තාත්තෙකුත් වූවාට පස්සේත් බාප්පලා ගේ ගෙදර දී ඒ මගුල්  ගෙදර සේයාපටය, වීඩියෝවකට හරවා, බාප්පාත් මමත් බාප්පාගේ මනාලිය වූ කැමිල් ඇන්ටීත් බලනවාත්, එදා මං ගැන කිය කියා ඈ සිනාසෙනවාත් අද මම නැවත නැවතත් දකිමි.

ඈට කාගේත් සිත් සතුටින් පුරවන සිනාවක් තිබුණි. සීයලාගේ ගෙදර නත්තලට, පල්ලියේ මංගල්ලයට එකතු වී පවුලේ හැමෝම සාමිචි කතා කියන අස්සේ අපේ තාත්තාගේ "පුඩිං කද්දී උඩිං කාපල්ලා" වැනි විකාර විහිළු වලට ඉස්සෙල්ලාම හිනැහෙන්නේත්, ඒ හිනා කතාව නැවත නැවතත් කියා හිනැහෙන්නේත් ඇයය.

ඇගේ හිනා කතා ගොන්නේ, මනමාලි බලන්නට මනමාලයාගේ කට්ටිය ආ වෙලේ කෙල්ලන් රොත්තක්ම හිටි ඒ ගෙදර දොර රෙදි අස්සෙන් එබී බලා, ජැන්ඩි කාරයෙක් වූ අපේ තාත්තා මනමාලයාය කියා රැවටුනු කතාවකුත් තිබුණි. අපේ ගෙදර කොල්ලන්ම දෙන්නෙක් වූ නමුත්, බාප්පලාගේ ගෙදරට ඉස්සෙල්ලාම ආවේ කෙල්ලන්ම දෙන්නෙකි. ඒ ගෙදර ලොකු කෙල්ල වූ ජුඩිත් නංගී ලැබුණු දවස්වල බබා බලන්නට ඉස්පිරිතාලයට ගිය මම, බබාට දෙන්නට ඒ කාලේ කවුරුත් දන්නා, ඇඟිල්ලක් කටේ ගසාගත් අඟල් හත අටක් දිග පුංචි ප්ලාස්ටික් බෝනික්කු රැගෙන ගිය කතාවත් අපි එකතු වූ වෙලාවට ඇන්ටී කියන තවත් කතාවක් වී තිබුණි.

ඇගේ දෙවෙනි දූ පුංචි අතදරුවා කාලයේ, සැත්කමකට කොළඹ ගෙනයන දවසේ, බාප්පාත් ඇන්ටීත් පුංචි බබාත් අපේ ගෙදරට ඇවිත් ගිය දවසත් මට මතකය. එදා ඇත්තටම හෝ බොරුවට ලෙඩවී පාසල් නොගිය මා, පුංචි බබා අතේ තබාගෙන සිටි ඇගේ පුටුව පාමුල බිම වාඩිවී ලොකු අයගේ කතා බහ අසා ඉන්නවාත් මට මතකය.

පුංචි බඳුන්, පුරවන්නට, මහා විශාල දේවල් අවශ්‍යය නැත. මේ පුංචි මතකවල දැවටුණු ආදරය, සතුට, සැනසීම එදා පිරුණු මගේ පුංචි හිත අදටත් ඒ හැම දෙයින්ම පිරී ඉතිරී තිබේයැයි මම හඟිමි.

ඉතින් මා මේ පුංචි සටහන ලියන මොහොතේ,  ගෙදරක සාලයක ඈ වැතිර ඉන්නවාත්, ඇගේ දූ පුතුන් ඈ වටා ඉන්නවාත් ඇති. ලඟට ගොස් දෝත සිඹ සමුදෙන්නට නොහැකි තරම් දුරක සිට මේ මතක ඇවිස්සීම එක් අතකින්  ශෝකී තනිකමක් දැන වූවත්, ඇගේ සිනහවත්, ඈ බෙදූ සතුටත් ඒ වසා ඇතිරෙයි.

අක්කලා නංගිලා අයියලා ඇන්ටිලා ආදී වශයෙන් ඇගේ නෑදෑ පිරිසෙන් බාප්පලාගේ ගෙදර පිරෙන උපන්දින, මංගල, මංගල්ල, නත්තල් ආදී මොන සතුටු දවසක් වුනත් සංගීතයෙන් සතුටින් පිරී තිබේ. ඒ මොන දවසේ වුනත් නොවරදවා ගැයෙන ගීත කීපයක් තිබේ.... 'පුංචි කාලේ මුහුදු වැල්ලේ වැලි සෙල්ලම් බත් උයලා...' ඉන් එකකි. ඒක කියවෙන්නේ නම්, මුහුදු වැල්ලේ මොරටු වැල්ලේ වෙලාය. සුනිලාත්, අවස්ථාවට උචිත නම් එදා දවසට වඩාත් ගැලපෙන නමකට හුවමාරු වෙයි.

ඉතින් කැමිල් ඇන්ටී, අවුරුදු දෙක තුනකට පෙර දවසක හමුවී සමුගත් දවසේ මෙන්ම නැවත වරක් ආදරෙයි කියනවා මිස, ඔබට සමු දෙන්නට මට වෙනත් වචනයක් සොයාගන්නට නොහැකිය.



Continue Reading...

Thursday, June 7, 2018

හරි වැඩේ ස්වර්ණා

හරි වැඩේ ස්වර්ණා
වෙස් මූණ චූට්ටක් ඉරිලා
මේ සතියෙ ආවාම
හදා ගන්න ඕනා

අල්මාරි තට්ටුවේ
ඇති පරණ අච්චුව
හීනියට ඉරලා
⁣සුදු සව් කඩදාසි
පොඟවලා තියන්න

පරණ මැලියම්ම තිබුණා
නෑ ලොකුම සිදුරක් නෙවෙයි
කම්මුලක් තෙමිලා
පුංචි සිදුරක් හැදිලා

මෙහෙ තවම වැස්සනෙ
කුඩේ අමතක වුනා
මාලිනී ඇරලුවා
නෑ ගෙදරටම නෙවෙයි
බස් එකට විතරයි

ඒ කුඩේ හරි පොඩියි
ගෙදර ආවාම දැක්කේ
කම්මුලක් පෙඟිලා
පොඩි හිලක් හැදිලා

මෙහේ ගාණක් නෑ
කවුරුවත් ඇහුවොතින්
විහිළුවක් කරනවා
ඒත් අර මගුල් ගෙදරට යන්න
හදන්නම වෙනවා

බෝතලේ බලන්න
පාට චුට්ටකුත් ගාමු
හරියටම නොගැලපුනොත්
පුංචි ඉන්නෙක් අඳිමු.


Continue Reading...

Monday, May 14, 2018

රන් තිලකා... පොඩි සුමනා... සුදු ශීලා... කළු මැණිකා...





මම හයේ හෝ හතේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ බාප්පා කසාද බැන්දේය. 

තාත්තාගේ පවුලේ බාල පුතා වූ බාප්පා ඒ කාලයේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අතර ඊට අමතරව සීයාගේ ව්‍යාපාර කලමනාකරණයටද සහය විය. සීයාගේ ඇස් අන්ධය. මහගෙදර ඉදිරිපස ඉස්තෝප්පු කෑල්ලේ පුටුවක වාඩිවී සිටින සීයාගේ ප්‍රධාන කාරිය අසල කනප්පුවක් මත තිබෙන රේඩියෝවට සවන් දීමත්, එන කාට හෝ කියා පත්තරය කියවා ගැනීමත් ලෙස මට මතක තිබේ. නිදන කාමරයට, කෑම කාමරයට, වැසිකිළියට යන්නට උන්දෑට තනිවම පුළුවන් වන ලෙස බිත්ති දිගේ අතක් උසින් සුදුපාට හණ ලණු බැඳ තිබුණි. උන්දෑගේ දේ බොහෝවිට කෙරුණේ බාප්පා අතිනි.

බාප්පාගේ මඟුලේ පරහක් තිබුණි. බාප්පාගේ මනමාලිය බුද්ධාගමේය. පල්ලියේ හෙවනැල්ල යට ජීවත්වුනු කතෝලිකයන් වූ අපේ පැතිවල ආගම වෙනස්ව කසාද බැඳීම ජන්ම පාපය හා සමානම පාපයක් වූ කාලයක ටෙක් එකේදී හමුවී යාළු වූ බුද්ධාගම් කෙල්ලෙක් කසාද බඳින්නට බාප්පාට උවමනා විය. සීයලාගේ ගෙදර පාලනය තිබුණේ ඇත්තෙන්ම ආච්චිගේ අතය. ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුව සීයාගේ වුවද, පිටුපස වටපිල උඩ බුලත් හෙප්පුව ලඟින් වාඩිවී බොහෝ දේ තීරණය කලේ ආච්චිය.

ගෑණු ළමයා ගැන අන්තිම තීරණය ආවේද ඒ පැත්තෙන්ය කියා මම සිතමි. පුංචි උන් වූ අපට ඇහුනේ අම්මා තාත්තාගේ අතේ ඔඩොක්කුවේ ගැවසෙන විට ඇහුණු කතා බහක් පමණක් වූ අතර, දැක්කේ සිදුවුනු දේවල් මිස, ඒවා තීරණය වුනු විදිහවත් කෙරුනු හැටිවත් නොවෙයි. කෙල්ලට ආගම උගන්වා ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සප්‍රසාදය ආදී කාරණා සම්පූර්ණ කර කසාදය කෙරෙන බව කතා බහ වල හුවමාරු විය. මේ කාරණා සඳහා බාප්පාගේ මනාලිය, අම්මා තාත්තා පවුල ගෙදර අතහැර, කන්‍යාරාමයක නැවතුණාය. ගමන් බිමන් යන අතරේ අපේ තාත්තාත් අම්මාත් “මෙන්න මේ කොන්වන්ට් එක තමයි” කියා කුසු කුසු ගෑ මුත්, සීයාගේ මට තවම තේරුම් ගත නොහැකි විරුද්ධත්වයක් නිසා කවදාවත් මනමාලි බලන්නට නම් නොගියෝය.

මනමාලිට ලෙඩුන් බලා කියා ගන්නට හැකියාව පල පුරුද්ද ඇති බවත්, මොකක් හෝ නර්සින් පාඨමාලාවක් හදාරා ඇති බවත් කනින් කොණින් ඇහුණු කතාවකි. දෑස් අන්ධ, දිය වැඩියා කාරයෙක් වූ සීයාගේ බේත් හේත් දුක සැප බැලීමේ හැකියාව බාප්පා ගේ මනමාලිය වීමට සුදුසුකමක් වී තිබුණි. ආගම ඉදිරියට විත්, සීයාගේ හිත නොනැමිණියි හිතන්නටත් මට අපහසුය. හැමදාම උදේ ගුවන් විදුලියේ බණ, පිරිත්, දවසේ හිතිවිලි, ආදී හැම දෙයක්ම අසා ඉන්නා සිරිතක් උන්දෑට තිබිණි. උන්දෑ කියු බොහෝ කතාවල ජීවිතය පිළිබඳ යම් දැක්මක් තිබුණි. බොහෝ දේ අසා සිට කල්පනා කර තීරණ ගැනීමේ හැකියාවක් උන්දෑට තිබුණියි මගේ හැඟීමයි. උන්දෑගේ ව්‍යාපාර පරිපාලනය කල පුත්තු උන්දෑගේ අදහස් විමසා කටයුතු කලහ. ඒ එසේ වුණත් කසාදය කෙරෙන කාලය ලංවී අපේ සීයා පෞද්ගලික රෝහල් වාට්ටුක නවාතැන් ගත්තේය. මඟුල් ගෙදර යනවාද නැද්ද කියා තීරණය කරන්නට පෙර සීයාගෙන් අහන්නට අපේ පවුලම උන්දෑ හමුවෙන්නට මේ රෝහලට ගියා මගේ මතකයේ ලියැවී තිබේ. 

අපි මඟුල් ගෙදර නොගියෙමු. 

පල්ලියේ මඟුලක් බවත් තාත්තාගේ ලොකු මල්ලී ගිය බවත් මතක මුත් ආච්චි ගියාදැයි මට නිච්චියක් නැත. මේ වනවිට උප්පැන්නයෙන් කුසුම් වූ බාප්පාගේ මනාලිය පල්ලියෙන් බර්නදෙත් වී සිටියාය.

අපි මුලින්ම ඈ දුටුවේ බාප්පා මනාලියත් කැන්දාගෙන ගෙදර ආ දවසේ යි. සරම් කැසපට කවාගෙන ජල්ලි දමමින් සටන් පාඨ කිය කියා සළුපාලි යනමුත් යම් වෙනසක් නවතන්නට නොහැකි වූ කල ගහ මරා ගන්නට කැති මන්නා ගත් සියළු දෙනා එකට එක්වී අත්වැල් අල්ලාගන්නා සිරිතක් ගම්වල තිබේ. යුද්ධය ඉවරය කියා මෙයින් නොහැඟෙයි. ඇති තත්ත්වය බාර ගැනීම පරාජයක් ලෙසත් නොසැලකෙයි. සීයා හැර පවුලේ සියළු දෙනාම මේ සිද්ධාන්තය අනුව යමින් මනමාලිය පිලිගැනීමේ කාරියට මහගෙදර එකතු වූහ. ජෝඩුව මඟුල් පූජාවෙන් පසු හෝ ගෙදර එනදාට පෙර හෝ සීයා බලන්නට රෝහලට ගිය කතාවකුත්, උන්දෑ මනාලිය පිලිගත් කතාවකුත් යන්තමින් මගේ මතකයේ තිබේ. එහෙත් ගෙදර එන දවසේත් උන්දෑ රෝහලේම සිටියා විය යුතුය.

කුසුම් ඇන්ටී රූමත් හුරු බුහුටි යුවතියක වූවාය. සියල්ලටම වඩා සිත සනසන අව්‍යාජවූත් පිරී ඉතිරී යන්නා වූත් සිනාවක් රැඳි මුහුණක් ඇය සතුවිය. ඇගේ මුහුණ බැලීමත්, එදා දුටු ඈ සිහි කිරීමත්, අදත් සතුටක්ම ගෙනෙයි. සීයලාගේ ගෙදර සාලයේ, ඒ කාලයේ යමක් කමක් ඇති ගෙවල් හැමකම තිබුණු කුෂන් පුටු සෙට් එකක් තිබුණි. තුන් දෙනෙකුට පමණ වාඩිවිය හැකි ලොකු පුටුවක් තනි පුටු දෙකක් හා චූටි පුටු දෙකක් මට මතකය. එදා හිනා කතා කෑම බීම සියල්ලම අතරේ, දවසේ හිමිකාරිය වූ කුසුම් ඇන්ටී ගැන මගේ ඇස් විමසිල්ලෙන් ම ඉන්නට ඇත. එසේ නොවේ නම් මේ හැම පුටුවකම වරින් වර ඈ වාඩිවී සිටියා මගේ මතකයේ චිත්රයන් සේ ඇඳී තිබෙන්නට විදිහක් නැත.

කසාදයේ රැස් පරොස් හේදී ගොස්, ආච්චිලාගේ සීයලාගේ ගෙදර, කුසුම් ඇන්ටිලාගේ ගෙදර වෙන්නට වැඩි කාලයක් ගත නොවිණි. ඒ ගෙදර පරණ සුවඳ බාප්පාගේ කාමරයෙන් ඈත්වී ගොස් අපි පොඩිවුන් නැන්දා කසාද බැඳ පිටවුනා ට පසු ආයෙත් ආසාවෙන් මහ ගෙදර යන කාලයක් ඇරඹිණි. කුසුම් ඇන්ටී මිස ඇගේ නෑසියන් කිසිවෙක් මේ කාලයේ මුණ ගැසුනා මට මතකයක් නැත. එහෙත් ඈ මුවින්, අපි පොඩිවුන් සමග හෝ මහවුන් සමග හෝ බාප්පා සමග හෝ ඒ දේවල් ගැන කණගාටු දෙයක් කියවෙනවාත් මට මතකයක් නැත. කාලය ගෙවී කුසුම් ඇන්ටී අම්මා කෙනෙක් වූවාය. 

ඒ ඉස්කෝල නිවාඩු කාලයේ මට මතක ඇත්තේ ලොකු බාප්පාගේ ලොකු දුවත්, පුංචි බබාත්, සමග කුසුම් ඇන්ටිලාගේ ගෙදර ගෙවුණු දවස්ය. බබා නාවන්න බොහෝවිට ගියේ අපේ අම්මාය. අම්මාත් සමග එහේ යෑම ලොකුම සතුටක් විය. බබා නාවා ගම්මිරිස් පිඹ, බබා කිරි බී නිදාගන්නා තුරුත් අම්මා නැවතී සිටී. මගේ ආපහු ඒම බොහෝ විට සවසය. පාන් ගේන්නට බාප්පා යනවිට ඒ එක්ක ගෙදර යාම මට වඩාත් ප්‍රිය විය.

මේ සටහන නම් කෙරුණු ජෝතිපාලගේ ගීතයේ නම් වැල අළුත් අම්මාගේ මුව'ග දරු නැලවිල්ලක් වී සීනුවක් සේ නාද දෙමින් ඒ ගෙදර බිත්ති මත රැව්දෙනු මට තවමත් ඇසෙයි. 

පුංචි එකාගේ පුංචි සද්දයක් ඇහුණත් කුසුම් ඇන්ටී ගයමින් රඟමින් සාලය හරහා දුව එනුත්, මයිකල් මල්ලීගේ බුඟු බුඟු හිනාවත්, උගේ පුංචි බඩ ගෙඩිය ඉඹිද්දී දැනෙන බබා පියුරු සුවඳත් මට තවමත් සිහි කර ගත හැකිය. ජුඩිත් නංගීත් මමත් බාප්පලාගේ ඇඳේ, කුසුම් ඇන්ටීගේ පය පාමුල ඇගේ නැලවිලි ගීය අසමින් ඇගේ පිරිපුන් සිනා මුහුණ දෙස බලා සිටිනවා මට තවමත් පෙනෙයි.

මගේ ජීවිතයේ මටම අම්මා වූ ගැහැනු කිහිප දෙනෙක් සිටිති. මගේම දරුවන් උපන් දවසුත්, ඒ හැම දවසේම මා දුටු, තවමත් දකින මගේම කුසුම් ගේ ආදරණීය මුහුණත් නිරායාසයෙන් මට පෙනෙයි. ඒ හැම ගැහැණියක වෙනුවෙනුත් හැම අම්මා කෙනෙකු වෙනුවෙනුත් අද මේ නොරට අම්මලාගේ දවස සමරන දවසේ දරු සෙනෙහෙස් අරුමය ළමයෙකු වූ මගේ සිතේ අනායාසයෙන් රැඳවූ මේ දවස් වල මතකය මෙසේ සටහන් කර තබමි.

මේ අවුරුදු අටකට විතර පෙර ලියවුණු සටහනක් වුනත්, අද දවසේ මුලින්ම මතක්වූයේත් කුසුම් අැන්ටීවය.  අද දවස අැගේය.
Continue Reading...

Saturday, May 5, 2018

නිදිකුම්බා

කටු ඇනෙයි කියා ඔබ
නොපාගා ඈත ඈතින් යන
නිදිකුම්බ ඉති අගත්
මල් පිපෙයි දම්පාට
පෙති නැතත් සිනිදුවට
රොන් තිබේ රේණු අග
පා පහර ලැබ විසිර
ගැබ් වදින කහපාට
ඵල දරා මෝරා
අව් රසින් පුපුරා
විසිරවී තව තවත්
කටු පිරුන පැල හදන
කටු ඇනෙයි කියා ඔබ
නොපාගා ඈත ඈතින් යන
නිදිකුම්බ ඉති අගත්
මල් පිපෙයි දම්පාට


Continue Reading...

Saturday, March 31, 2018

කල් බලන මරියා...!



මුදුන් වෙයි ආයෙත්
බක් මහේ පුරහඳ
රැහැයියොත් ගොළුවුන
ගොල්ගොතා කන්දේ
ලේ වැකුණු කුරිසියට
ගල් ගැසී නැවතුන
මතකයක් සිතින් ගෙන
බලා ඉන්නීය මරියා
විවර වන තුරු
තවම ලෙන්දොර

පින්තූරය - Waruni Anuruddhika Chandrasena ගේය. පින්තූරයට ඈ තබන සටහන:
A mother who is waiting for her disappeard son …. for how long can she Wait …
The ongoing protest in Tincomalee carrying out by the family members of disappeared completed one year this month similarly the other four ongoing protest in North . What they want to know is all about their children . What happened to them ? How long will it take the search the truth ?
මගේ සිංහල පෙරළුම:
අතුරුදන් වූ පුතා පැමිණෙන තෙක් බලා ඉන්නා අම්මෙක්.... ඇයට කොපමණ කලක් මෙසේ බලා ඉන්නට පුළුවන් වේද?

ත්‍රිකුණාමලයේ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් විසින් කරනු ලබන අනවරත විරෝධතාවයටත්, ඒ සමගාමීව උතුරේ වෙනත් ප්‍රදේශවල පැවැත්වෙන අනවරත  විරෝධතා ව්‍යාපාර හතරටත් මේ මසට වසරක් පිරෙයි. ඔවුන්ට දැනගැනීමට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේම දරුවන් ගැනය. ඔවුන්ට කුමක් සිදුවීද යන්නය. සත්‍යය  දැන ගැනීමට කොපමණ කාලයක් විමසන්නට සිදු වේ ද?
Continue Reading...

සුර ලොවිනේ බැස මෙදිනේ....


වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහලේ මුල් ගොඩනැගිල්ලේ වම්පැත්ත, බිත්තිවලට කිරිගරුඬ පනේල ඇල්ලූ, දෙව් මැදුරක් වෙයි. එක්තරා පාස්කු කාලයක් කිට්ටුව තට්ටු දෙකක් උස මේ කුඩා පල්ලියේ බැල්කනි කොටසේ ගීතිකා කීපයක් ගායනා කරන්නට පුරුදු පුහුණු වූ දවසක් මගේ මතකයේ තිබෙයි. සංගීත සර් වූ ජස්ටින් සිල්වා සර් ඕගන් එක වාදනය කලාය කියාත්, අපේ ගණිත ගුරුවරයා වූ රොබට් සර්, වයලීනයක් වාදනය කලා ය කියාත් මතකය කොඳුරයි. ඒ පින්තූර කෙසේ වෙතත්, පුංචි අපි කට්ටිය එදා ගයන්නට පුරුදු වූ, එක්දාස් හත්සිය පහේදී, අවුරදු විසිනවයක් වයස්වූ කාලේ ගෝවේ සිට ඇවිත් වෙස්වලාගෙන ආගම දේශනා කරන අතර, සිංහල ඉගෙන ගෙන, සිංහල කතෝලික සාහිත්‍යයකට මුල පිරූ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා පබැඳූ 'දේශනා නවයේ පසම් පොතේ' තියන දේවමෑණියන්ගේ වැලපිල්ලේ මේ පද ටික අදටත් අර හිස් පල්ලිය ඇතුලේ දෝංකාර දෙනවා සිහියේ තිබේ. වැඩිමනත් කියනවා නං මේ වචන එකින් එකේ ගැලපිල්ලත් තේරුමත් හිතට වැදුණු එක, හිතේ පින්තූර ඇඳපු එක හොඳින්ම මතකයේ තිබේ.
මේ වචන ලියූ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සිරුර මිහිදන් කර ඇත්තේ, එයාගේ ඒ කාලේත් කේන්ද්‍රස්ථානය වූ බෝලවත්තේ පල්ලියේය. අපි නොදන්නා නොහිටිය කාලයක සිංහල හිත්වලට සිංහලෙන් කතා කරන්නට මේ වචන අකුරු කල, පරම්පරාවෙන් කොන්කාණි බ්‍රාහ්මණයෙක් වූ, මේ ගෝවේ මනුස්සයා, අද අපේ සැලකිල්ලේ හැටියෙන් නම් සිංහල කවියෙක් නේ ද? අනික් පැත්තෙන්, ජේසුස් ගේ මරියාවන්ගේ මනුස්සකම දුක වේදනාව ආදරය තේරෙන භාෂාවෙන් මේ විදිහෙන් අකුරු කිරීම අපේ ගම් පලාත්වල ආගමිකත්වයත් සංස්කෘතියත් තුල අදටත් ඉතිරි වී තිබෙන කතෝලික කමේ උපත වෙයි.
සබැඳියේ ගැයුම, රදගුරු එඩ්මන්ඩ් පීරිස්ගේ තනුවට, ලසන්ත ප්‍රනාන්දු නම් මා නොදන්නා සංගීතඥයකුගේ සංගීතයත්, ඇන්ටන් ජානක හා ස්වීනි ප්‍රතිභා නම් තවත් මා නොදන්නා ගායක ගායිකා හඬවලුත් තුලින් උපන්නකි.
ඉහල පින්තූරය, 2006 වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් දෙව්මැදුරේ මහ සිකුරාදා  ක්‍රිස්තු ප්‍රතිමාව කුරුසියෙන් පහලට ගන්නා වූ අවස්ථාවයි.
අදත් මහ සිකුරාදා ය. 
මාර්තු 30, 2018.

සුර ලොවිනේ බැස මෙදිනේ 
මවු කුසිනේ බිහි වෙමිනේ
කුඹු දෙතනේ කිරි බොමිනේ 
මිණි ලෙසිනේ වැඩුණු තැනේ

අයි අයියෝ අප උදෙසා ආ...
දේව පුත්‍රයා විඳි දුක්ෂා...

දිලුණු රනේ රුව ලෙසිනේ 
මල් උයනේ සිටිය දිනේ
මෙම මරණේ ඔබට වුණේ 
කිමද අනේ සුර රජුනේ

රන් කෙඳි සේ වරළ දිසේ 
රන් රඹ සේ ගහණ රැසේ
නිල් මිණි සේ සොබන ඇසේ 
සවන දිසේ විදුලිය සේ

රන් රුව සේ ගත වෙන සේ 
රුහිරු මෙසේ අසන ලෙසේ
මෙ පණ ලසේ ගිය විලසේ 
හැම දවසේ වාමි කෙසේ




Continue Reading...

Thursday, March 8, 2018

නැවත මෙවන් රටක ඉපදිමට සිදු නොවේවා !!! - අම්මලා තාත්තලාටයි


අම්මලා තාත්තලාටයි
===============.
මේ, ඉහත අවුණා ඇත්තේ පහුගිය අවුරුද්දේ දී, කැළණි විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය හා අනුබද්ධිතව පැවැත්වෙන කථන හා ශ්‍රවණ විද්‍යා පාඨමාලාව අවසන් කර උපාධිය ලැබූ, විසිහය හැවිරිදි තක්ෂිලා නුවන්ති, සිය මුහුණු පොතේ තැබූ සටහනකි.
එය මෙසේ මෙතැන එල්ලන්නේ, නවසිය හතලිස් අටේ, තක්ෂිලා උපදින්නටත් අවුරුදු හතලිස් ගණනකට පෙර දේශපාලන නිදහස ලැබූ, විශේෂයෙන්ම ලේ බිඳක් නොහොල්ලා නිදහස ලැබුවායි උදම් අනන අපේ රට ගැන, එදායින් පසුව එළැඹෙන තුන්වෙනි පරම්පරාවේ සිත් තුල අද නැගෙන සිතිවිල්ලේ ශෝචනීයත්වයත්, පසුගිය පරම්පරා දෙකක් විසින්, මේ තුන්වැනි පරම්පරාවට උරුම කරන්නාවූ උරුමයත් පිලිබඳව සසල වූ සිතැතිවය.
මේ සිතිවිලි මේ පරපුරේම උරුමය බවත්, ඒ තක්ෂිලාට පමණක් සීමාවූ සිතිවිල්ලක් නොවන බවත් ආයේ තකහනියක් ලිවිය යුතු නොවේ.
හුදෙක් බලය ඇල්ලීමේම පටු දේශපාලන අරමුණු ඔස්සේ යමින්, රටේ අනාගතයත්, සම්පතුත්, ඒ මතු නොව, තරුණ ජීවිතත් බිල්ලට ගත් ව්‍යසයනයක් ව පවතින දේශපාලන නායකත්වයක් අපේ උරුමය වී තිබේ. ධර්ම ද්වීපයක් යැයි කෙතෙක් උදම් ඇනුව ද, ධර්මානුකූල හික්මීමක්, ගිහියන් කෙසේ වෙතත්, ධර්මාචාර්යයන් වූ පැවිද්දන් තුලිනුත් ගිලිහී ගිය කාල පරිච්ඡේදයකට අපි අවතීර්ණ වී සිටිමු. එසේ නොමැත්තේ නම්, අද මේ මොහොතේ නැවත හදිසි නීතිය හා අඳුරු නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවන්නේ නැත.
ජීවිතය ගෙවෙන්නකි. වැඩිම වූවොත්, අවුරුදු හැත්තෑවක් හෝ අසූවක වපසරියක් ඇත්තකි. එහි ඵල ලෙස අප ඉතිරි කර යන්නේ අපේ දරුවන්ය. ලංකාවේ අපි දරුවන් වෙනුවෙන්ම දියවී යන්නට සැදී පැහදී සිටින සංස්කෘතියක උරුමක්කාරයෝ වෙමු. ඒ නිසාවෙන්ම තක්ෂිලාගේ මේ සටහන මගේ සිත සසල කල ලෙසින්ම ඇගේ මව්පිය පරපුරේ බොහෝ දෙනෙකුගේ සිත සසල කරනවා ඇතැයි මම සිතමි.
ඇයටත් ඇගේ පරපුරේ එවුන්ටත්, බැණ අඬගසා, ඔහොම හිතීම වැරදිය කියන්නට අපට පුළුවන. රටක අගය හෝ, සොබා දහමේ අනියත බව හෝ දෙසා වදාරා, උන්ගේ සිත් සනසන්නට අපට පුළුවන. එහෙත් ඒ කිසිවකින්වත්, මේ පසුගිය අවුරුදු හැට ගණන තුල අපේ දරුවන්ට නිදහසේ, ආදරයෙන් හා සාමයෙන් ජීවත්විය හැකි රටක් බවට අපේ රට පත් කරන්නට අපට නොහැකි වූ සත්‍යය වසන්නට අපට නොහැකිය. ඒ කාර්යයේදී අප අසාර්ථක වූ බව අපි පිළිගත යුත්තෝ වෙමු.
අද මේ මොහොතේ දී, ඔවුන් පතනා රට කුමනා කාරද යන්නත්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අප කල යුතු දේ කුමක් ද යන්නත්, අපේ දරුවන් ගෙන් ම අසා දැන ඉගෙන ගන්නට අපි බැහැපත් විය යුතු වෙමු. එසේ ඇසුවොත් ඔවුන් ඉල්ලන්නාවූ මුල්ම ඉල්ලීම, මලේච්ඡයන් ලෙස, ගහ මරාගෙන, ලේ හලාගෙන, ගිනි තබාගෙන, ප්‍රශ්න විසඳා ගන්නා වූ සංස්කෘතිය අවසන් කිරීම බව අප කාටත් පැහැදිලි විය යුතුය.

[තක්ෂිලාගේ මුහුණු  පොත් පිටුවට   මේ ලිපියට අදාල ඇගේ සටහන මෙහි ඇති රූපයේ සම්පූර්ණයෙන් දක්වා ඇත‍]

Continue Reading...

Saturday, February 24, 2018

සම්පන්තන් ගේ නෙළුම් පොහොට්ටුව


උදේ වරුවේ බස් එකේ කීරියන්කල්ලි ගිහින් ආ අපේ තාත්තා ගමේ ගොඩේ කියන විදිහට නම් මොලේ නහරයක් පුපුරා, නැත්නම් ඉංග්‍රිසි වෙදකමේ හැටියට ස්ට්‍රෝක් එකක් හෝ ඒකම සිංහලෙන් ලිව්වොත් ආඝාතයක් හේතුවෙන් ලෙඩවී වැටුනේ, නවසිය අසූ අටේ ජූලි මාසේ විසිහය වෙනිදා රාත්‍රියේය. එදා ඒ දේවල් වෙද්දී, ගෙදර හිටි අපේ අම්මාත්, චූටි නංගීත්, පණිවිඩ යවා ගෙන්නාගත් බාප්පාත් බාප්පාගේ බාල දූ ගේ මහත්තයා මන්දිරාත් එක්ක, මීගමුවටත් එතනින් කොළඹටත් අරගෙන ගියත්, එයා ගෙදර ආවේ ආපහු යන්න මිස ඉන්න නොවේ. ඔය කාලයේ මූදු හතකින් එහා ඇවිත්, අකුරු තුනකට ඔට්ටු වෙමින් සිටි මටත්, මානෙල්ටත්, අවුරුදු තුන හතරේ පොඩිවුන් වූ අපේ පොඩි උන්ටත්, අපේ ගෙදර පලවෙනි අවමගුල වූ අපේ තාත්තාගේ මළ ගෙදර යන්නට වූයේ නැත.

එයින් මාසයකට විතර පස්සේ, එනම් ගෙදරින් පිටවී අවුරුදු හතකට පස්සේ, ගෙදර ඇවිත් මාස දෙක තුනක් ගෙවූ කාලය අවසානයේ, අපි ළමයි හා අම්මාත් එකතුවී ප්‍රධානව කතා කලේ තාත්තා ඉතිරි කර ගිය ඉඩකඩම් නිරවුල්ව බෙදා හදා ගන්නේ කොහොමද කවදාද කියන කාරණාවයි.

ඉන්නේ කොහේද යන්නේ කොහේද නවතින්නේ කොහේද කරන්නේ මොනවාද ආදී ඉතාමත් සරල ප්‍රශ්නවලට පිළිතුරත් ප්‍රශ්නාර්ථයක්ම වී තිබුණු නමුත්, අවිනිශ්චිත ස්ථිරත්වයක් මත පදනම් වූ හිතේ හයියක් ඇතුව, 'මම කොහේ කොහොම ඉඳීවිද, ආපහු එයිද නැද්ද කිසිදෙයක් හරියට කියන්න බැරි හින්දා, ඔයාලා කැමති විදිහකට බෙදා ගන්න. ඔයාලාට හිතෙන දෙයක් මට ඉතුරු කරන්න' යි කියා මගේ තීරණය දෙන්නට පුළුවන් වූ නමුත්, ඒ කතාව පිළිගන්නට හිත හදා ගැනීම අනික් අයට නම් අසීරුම කාරණාවක් විය.

එහෙන් මෙහෙන් පටන් ගෙන යන්ඩ ඇරලා හෙමින් කියා, එයිනුත් පස්සේ, ඉන්න තැනම හයියෙනුත් කියවුනේ, 'ඔයා ඔය එපා කියන්නේ නොයිල්ලන්නේ මොකක් හෝ හොරයක් හිතේ තියාගන තමයි' කියාය. දවස් දෙකක් තුනක් හවසට හවසට සාලේ මේසේ වටේ අම්මාගේ වටරවුම් සාකච්ඡා වටවල කතාවුනු මේ කතා බහ, කැරකි කැරකී සුළි ගැහෙන රටාව නවත්තන්නට, කඩදාසියක් අරගන තම තමුන් කැමති එව්වා ලියාලා ඉන් පස්සේ සසඳලා තීරණයක් ගමු කියා, කඩදාසි කොළයකුත් පෑනකුත් අරන්, මේසය උඩ තිබ්බ නමුත්, කිසි දෙයක් නොලැබුණත් කමක් නැතිය කියූ මංම මිස වෙන කෙනෙක් නම් ඒකේ සටහනක් දැම්මේ නැත.

ඉතින් අද මේ පුරාණ සිද්ධි සිහිපත් වුනේ, පණහට පණහ, ඊළාම් රාජ්‍යය වෙනතුරුමත්, ඒ පිරුණු දියකඳ අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ ඒවාගේ විසි තිස් ගුණයක් ජීවිත හූරාගෙන, ඒ නැතිවූ පණකෙඳි ගාන මෙන් තවත් තුන් හතර ගුණයක් ආත්ම වික්ෂිප්ත කර මං මුලා කර ගලා ගිහිල්ලාත් තියෙද්දී, ඒ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා, අවුරුදු අසූපහක් වූ, රාජවරෝතියම් සම්පන්තන් නම් වූ, අපේ මැතිසබයේ විපක්ෂ නායකයා, සබාව ඉස්සරහා නැගී සිට, සුද්දාගේ ඉංග්‍රීසියෙන්, අර දේශප්‍රිය මහත්තයාගේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල ඉලක්කං ටිකත් එකතු කර අඩු කර කියලා,

"මට වාර්තාවල සටහන් කරන්න අවශ්‍යය; මගේ පක්ෂය, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නොබෙදුණු, බෙදිය නොහැකි, තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැන කථා කළ බව. රට බෙදීම ගැන කථා කරපු කිසිම ප්‍රචාරක වැඩපිළිවෙළක් උතුරේ හෝ නැගෙනහිර කොතැනකවත් කෙරුණේ නැහැ. අපි කථා කළේ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, බලය බෙදීමේ ව්‍යුහයක්, එක්සත් නොබෙදුණු, නොබෙදිය හැකි, තනි රටක රාමුව තුළ ක්‍රියාත්මක කිරීම ගැන. ඒකයි අපි අපේ ප්‍රදේශ සියල්ලෙහි ගෙන ගිය ප්‍රචාරක වැඩ පිළිවෙළ.
අප එසේ කරද්දි, කොහොමද ජනපති රාජපක්ෂ කියන්නේ "මේ ඡන්දයෙන් පසුව ඊළම නිර්මාණය වෙන බව?" මේක දකුණේ අහිංසක සිංහල ජනතාවට කරපු වංචාවක් පමණක් නෙමෙයි. මේක තමන්ටත් ඇතුළුව සියලු දෙනාට කරපු වංචාවක්."


කියාත් කියද්දී, ඒ කතාවට කඩේ පිලේ, අන්තං ජංජාලයේ, ලිබ්බොක්කේ, අගුවේ පවා හිට උත්තර බඳින කට්ටියක්..... අර එදා මට ඇහුණා වගේම,

"
ඔයා ඔය එපා කියන්නේ නොයිල්ලන්නේ මොකක් හෝ හොරයක් හිතේ තියාගන තමයි"

කියලාත් කියනවා මටත් ඇහුණු නිසාය.


============================================

(උඩින් ඇති පින්තූරය ගත්තේ රැස පත්තරයේ ජාල පිටුවෙනි)
රැස පත්තරේ ජාල පිටුව
ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

ගරු කථානායකතුමනි,
මා හිතුවා මේ විවාදයට වචන ස්වල්පයක් එකතු කරන්න.
ජනතාව තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයකදී ජනතා තීන්දුවට ගරු කළ යුතුයි. මේ මෝසම ගෙන ආ ගරු මන්ත්‍රීතුමා සහ එය ස්ථීර කළ මන්ත්‍රීතුමා යම් යම් කරුණු ගැන සඳහන් කර තිබෙනවා. මූලිකවම පෙබරවාරි 10 වෙනිදා පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන ඉතා කෙටි විග්‍රහයක් කළ යුතු යැයි මම හිතනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාෙවන් 44.69% ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය 32.61%ක් ලබාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.90%ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණේ 4.48%කි. යමෙකු විසින් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිශතයන් සමග එකතු කරන්නේ නම්, එම පක්ෂ තුන එක්ව 45.99%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 44.69% ක්, එනම් අනෙක් පක්ෂ තුන එක් කළ විට එන ප්‍රතිශතයට වඩා 2%ක් අඩුවෙන් ලබාගෙන තිබෙනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට 4.32%ක ප්‍රතිශතයක් ලැබුණා. දෙමළ ජාතික සන්ධානයට 4.07%ක ප්‍රතිශතයක් ලැබුණා. යමෙකු එම පක්ෂ දෙකට ලැබුණු ඡන්ද ප්‍රතිශතයනුත්, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ තුන ලද ප්‍රතිශතයන්ට එකතු කළොත්, එහි එකතු 55.31%ක් වෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහි පක්ෂ 55.31%ක් ලබාගෙන තිබෙන අතර,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙන්නේ 44.69%ක් පමණයි. මෙය විවාදයට ලක් කළ නොහැකියි. අභියෝගයටද ලක් කළ නොහැකියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 දි 47.58% ක් ලබා ගත්තා. ඔහු 2015 ඒ ජනවාරි මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රතිශතය, ඔහු දැන් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශයට වඩා වැඩියි.
මෑත කාලයේදී මැතිවරණ තුනක් පැවැත්වෙලා තිබෙනවා. 2015 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය සහ මෙම මාසයේ පැවැත්වූ පළාත් පාලන නිලවරණය. මේ කිසිදු මැතිවරණයකදී හිටපු ජනපති රාජපක්ෂට සියයට පනහ ඉක්මවා ඡන්ද ලබාගන්න නොහැකි වී තිබෙනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය හැම විටම තිබෙන්නේ සියයට පනහකටත් වඩා අඩුවෙනි. ඒ ජනපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදීයි.
ඉතින් මෙහි උද්දාම වෙන්න තරම් දෙයක් නෑ. මැතිවරණ පවත්වනවා. පක්ෂ ජය ගන්නවා. පක්ෂ පරාජය වෙනවා. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුණා. ඔබ ජයග්‍රහණය කළා. කිසිවෙක් එය විවාදයට ලක් කරන්නේ නෑ. නමුත් මෙහි සැලකිය යුතු කරුණ වන්නේ ඔබලාට එරෙහිව 55.31% ඡන්ද ප්‍රකාශ වෙද්දි, ඔබලාට ලැබී තියෙන්නෙ 44.69%ක් වීමයි. ඉතින් මෙහි කුමක්ද උද්දාමයට පත්වෙන්න තියෙන්නෙ? කිසිවක් නැහැ.
පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබුවේ මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් නොවේ. පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රකාශිත වූ ඡන්දවලින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මේ රටේ නීති පද්ධතිය පළාත් පාලන මැතිවරණයෙන් ඔබ ඉල්ලා සිටින වාසි සහ ඔබගේ අභිමතය පරිදි යටපත් කළ නොහැකියි. මට යම් ප්‍රකාශයන් කිහිපයක් තිබෙනවා හුවා දක්වන්න.
ගරු කථානායකතුමනි,
ඔබතුමා අවසර දෙනවා නම්, මේ මැතිවරණයේ ගෙන ගිය ප්‍රචාරක යාන්ත්‍රණයේ ස්වභාවය සම්බන්ධව යමක් මා කියන්න කැමතියි. මට ආන්දෝලනයක් ඇති කරන්න උවමනාවක් නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්තරා මැතිවරණ රැළියක් අතරතුර "මේ මැතිවරණයේ ප්‍රතිඵල මත ඇතැම් විට දෙමළ ඊළම බිහිවෙන්න උනත් පුළුවන්" කියා ප්‍රකාශයක් කළ විට, මට තැතිගැන්මක් ඇති වුණා.
එයට හේතු වශයෙන් ඔහු කිව්වෙ, "ගොනුකරමින් පවතින නව ව්‍යවස්ථාවක ප්‍රතිඵලය වශයෙන් එය සිදු විය හැකියි" යනුවෙන්.
1987-88 හෙවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වූ කාලයේ සිට මේ රටේ සියලු පුරවැසියන්ට පිළිගත හැකි අන්දමේ දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා 13 වැනි සංශෝධනය වැඩි දියුණු කරන්න විවිධ ජනාධිපතිවරුන් සහ රජයන් අඛණ්ඩ උත්සාහයක් දරා තිබෙනවා. ජනාධිපති ප්‍රේමදාස සමයේ 13 වැනි ව්‍යවස්ථාවට බොහෝ එහා ගිය සංශෝධන සහිත මංගල මුණසිංහ ගෙන ආ කැබිනට් යෝජනා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනි සමයේ 2000 වසරේ අන් කවරෙකුවත් නොව මහාචාර්ය ජී. එල්. පීරිස්ම පාර්ලිමේන්තුවට ගෙන ආ 13 වෙනි සංශෝධනයට බොහෝ එහා ගිය ව්‍යවස්ථා සංශෝධන, කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ආ ඒ යෝජිත ව්‍යවස්ථාවේ නව අංග රාශියකුත් තිබුණා.
එයින් පසුව බලයට ආ ජනපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පළමු සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේදී කළ කථාව යළි සිහියට ගත්තොත් ඔහු කථා කළේ, කළ හැකි උපරිම බලය බෙදා හැරීම ගැන. ඔහු විධායක කමිටුවක් පත් කළා. ඒ කමිටුව වාර්තාවකුත් ඉදිරිපත් කළා. මහාචාර්ය තිස්ස විතාරණ යටතේ පැවති කමිටුවක් ඔවුන්ගේම වාර්ථාවකුත් ඉදිරිපත් කළා. එහි තිබුණු යෝජනා 13 වැනි සංශෝධනයෙන් බොහෝ දුර ගිය යෝජනා. ඒක තමයි පැවති ස්ථාවරය.
එයින් පසුව මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පරිවර්තනය වුණා. එහෙම උණේ මේ පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කර ගත් කෙටුම්පතක් මඟින්. ඒකාබද්ධ විපක්ෂයේත් සියලු දෙනාගේ සහාය ඒ මොහොතේ ඒ පනත් කෙටුම්පතට තිබුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය ඵල කළේ නැහැ. මේ සඳහා නියාමන කමිටුවක් පත් කළා. ඔබ ඒ නියාමන කමිටුවේ කටයුතුවලටත් සහභාගී වුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය පල කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට විරුද්ධව වචනයක් මේ පාර්ලිමේන්තුවේ කථා කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට එරෙහිව වචනයක් ඒ නියාමන කමිටුවේදි කථා කලේ නැහැ. ඔබ එය පිළිගත්තා. ඔබ එය සමඟ එකඟතාවයෙන් යුතුව ඉදිරියට යන්න එකඟ වුණා. එක පාරටම මේ මහින්ද රාජපක්ෂ කියනවා " ජනතාව ප්‍රවේශම් නොවුනොත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඊළම බිහිවෙන්න පුළුවන්" කියලා.
මම කියනවා කතානායකතුමනි, මෙන්න මේ පණිවිඩය මේ රටේ අහිංසක සිංහල ජනතාව අතරේ පතුරුවලා තිබෙනවා. ඔවුන්ට කියා තිබෙනවා "මේක ඊළම වෙනුවෙන් දුන්නොත්, ඔබ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළොත්, එහි ප්‍රතිඵලය වෙන්නේ ඊළම බිහිවීම. ඒ නිසා ඔවුන්ට ඡන්දය දෙන්න එපා නෙළුම් පොහොට්ටුවට ඡන්දය දෙන්න." කියලා. මට දැන ගන්න ලැබෙනවා කතානායකතුමනි, මේ ප්‍රචාරණය දකුණේ සියලුම පන්සල්වල, සියලුම ගම්මානවල ඉතාම දුෂ්ඨ ලෙස සිදු කෙරුණ බව. මා හිතන්නේ මෙය ඉතාම අභාග්‍ය සම්පන්නයි.
මට වාර්තාවල සටහන් කරන්න අවශ්‍යය; මගේ පක්ෂය, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නොබෙදුණු, බෙදිය නොහැකි, තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැන කථා කළ බව. රට බෙදීම ගැන කථා කරපු කිසිම ප්‍රචාරක වැඩපිළිවෙළක් උතුරේ හෝ නැගෙනහිර කොතැනකවත් කෙරුණේ නැහැ. අපි කථා කළේ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, බලය බෙදීමේ ව්‍යුහයක්, එක්සත් නොබෙදුණු, නොබෙදිය හැකි, තනි රටක රාමුව තුළ ක්‍රියාත්මක කිරීම ගැන. ඒකයි අපි අපේ ප්‍රදේශ සියල්ලෙහි ගෙන ගිය ප්‍රචාරක වැඩ පිළිවෙළ.
අප එසේ කරද්දි, කොහොමද ජනපති රාජපක්ෂ කියන්නේ "මේ ඡන්දයෙන් පසුව ඊළම නිර්මාණය වෙන බව?" මේක දකුණේ අහිංසක සිංහල ජනතාවට කරපු වංචාවක් පමණක් නෙමෙයි. මේක තමන්ටත් ඇතුළුව සියලු දෙනාට කරපු වංචාවක්.
මම කැමතියි මේක වාර්ථාගත කරන්න, මම කැමතියි මේ රටේ සියලු දෙනාට දැනුම් දෙන්න, මේ වෛරී සහගත, ද්වේෂසහගත, සත්‍යයෙන් තොර, අසත්‍ය ප්‍රචාරණය කරන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පක්ෂය මේ න්‍යාය පත්‍රයම ඉදිරියට ගෙන ගියහොත් ඊළම බිහිවෙන්නේ අප නිසා නෙමෙයි, ඊළම බිහිවෙන්නේ ඔබලාගේ නෙළුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති. අන්න එයයි සිදුවන්නේ. ඒ නිසා කරුණාකරලා, ඒ වගේ අසත්‍ය ප්‍රචාර තුළින් සිල්ලර දේශපාලන වාසි ලබා ගැනීමට ඔබට ඇති ආශාවන් මැඩ පවත්වා ගන්න.

ස්තූතියි කතානායකතුමනි!
Continue Reading...

Sunday, February 11, 2018

එහෙත් ඡන්දෙ .... එහෙත් ඡන්දෙ ... මිලානෝ පැත්තෙද ඉන්නෙ?

මෝදරගේ වාස්ලා, මෝදර ඉඳලා හැමිල්ටන් ඇල දිගේ ඇවිත්, ගිං ඔය දිගේ ඇවිල්ලා, නයිනාමඩමේ හණතොටුපල තොටුපල හරියේ බැහැලා, ඉස් ඉස්සෙල්ලාම මහ ගේ හදාන තිබුණේ, අම්මලාගේ කුඹුරු කෑලි වලට උඩහින් වත්තේ, මහා රූස්ස සියඹලා ගහක් තිබුණු තැනට චුට්ටක් මෙහායින් කියා, අපේ අම්මාගේ ඉතිහාස කතා වල කියවෙනවා මට මතකය. රෑ පාන්දර, ඇහැ පියාගන්ඩ බැරිකමට නැගිටලා ඇවිත් තේ කෝපි හදන අම්මා, පොරවන් හිටපු සරොං පොරෝනාත් පොරෝගන ඇවිත් මේසෙ වටේ වාඩිවෙන අපට කියන ඔය ඉතිහාස කතා, සෙල්ලිපි වලින්වත්, මහා වංශය, දීප වංශය, චූල වංශය, පල්ලියේ පොත වාගේ ඉතිහාස කතා පොත් වලවත් ලියැවී නැති, කටින් කට එන කටකතාම හින්දා, ස්ථිර සාක්ෂි නං හොයා ගන්නට අමාරුය.

දැන් ආයේත් කල්පනා කර බැළුවාම, හැමිල්ටන් ඇල හැදුනේ ලන්දේසි ආවාටත් පස්සේ නිසා, භක්තිමත් කතෝලිකයෝ වුනු මෝදරගේ වාස්ලා, ඔය ඇල දිගේ හණ තොටුපලට පල්ලං බහින්නට ඇත්තේ ලන්දේසි කාලේ බවත්, සමහරවිට ලන්දේසි ආණ්ඩුවේ අඩං තේට්ටං හින්දා වෙන්නට ඇති බවත් හිතේ. තාත්තා නිසා ප්‍රනාන්දු වූ මට කවමදාකවත්, මෝදර පැත්තේ ඇවිදලා, එහේ තාමත් මෝදර ගේ ලා ඉන්නවා ද නැද්ද හොයා බලන්නට හිතුණේත් නැති බැවින්, අම්මාගේ අර කතාවේ හරි වැරදි බලන්නට කවමදාකවත් බැරි විය. එහේ නැතිවුනත්, නයිනාමඩමේ නම් අම්මලාගේ පරම්පරාව වූ මෝදරගේ වාස්ලා ඇති තරම් සිටිති.

හයවෙනි පංතියට ජෝශප්වාස් විද්‍යාලයට ඇතුළු වූ මගේ පංතියේත් අපේ අම්මලාගේ කට්ටියේ මෝදරගේ වාස් කෙනෙක් සිටියේය. මගේ පංතියේ හිටි මගේම නෑයා වූ, නිරංජනුත් මමත්, මට මතක හැටියට, දහවෙනි පංතියේ දී, වෙන්වෙන තුරුම, එක ඩබල් ඩෙස්ක් එකේ දෙපැත්තේ වාඩිවී හිටි හොඳම යාළුවෝ වූයෙමු. වැඩි කතා බහ නැති, නිරහංකාර ළමයකු වූ නිරංජන් මගේ හොඳම යාළුවාය යන්න අපේ ගෙවල් වල අයත් ඉතා ඉහලින් අගේ කල දෙයක් විී තිබුණි.

අක්කලාම කීප දෙනෙක් හිටි නිරංජන්ගේ අත් අකුරුත්, ඉස්කෝලේ පොත්වල වැඩත්, කවදත් මගේ වැඩ වලට වඩා පිළිවෙලට රටාවට සිද්ධ වෙයි. ගේබ්‍රියල් සර්ගේ භූගෝලය පාඩමේ දී අඳින්නට වෙන සිතියම් වල, මූද හරිය ලස්සණට ඉරි කෑලි හිටින්නට, පොතේ පිටුවට යටින් වේල් කෑල්ලක් තියා නිල්පාටින් පාට කරන විදිහ, මට කියා දුන්නේ නිරංජන් ය. විද්‍යා පාඩම් පොතේ, ඉලැක්ට්‍රික් බෙල් එක හදන කාලේ, කොහෙන් හෝ කවුරු හෝ ගෙනැවිත් දුන් ඒකටම හරිගැස්සූ දුනු පත්තක් අරන් ඇවිත්, හරියටම සද්දෙට වැදෙන බෙල් එකක් හදා තිබුණේත් නිරංජන් ය.

අපි දෙන්නාගේ අනිත් යාළුවා වූ වෙන්නප්පුවේ වැව අයිනේ ගෙවල් තිබුණු කිංස්ලි ඒ දවස්වල ගෙදර මිදුල පිරෙන්නම මාළු ටැංකි හදලා මාළු ඇතිකරන වැඩක් කරමින් සිටියේය. ඉස්කෝලේ ඉවර වී කිංස්ලිලාගේ ගෙදරත්, එතනින් ගිහින්, වැව අයිනේ කජු පුහුලං කැලෑවටත්, ඒ කිට්ටුවම පදිංචිව හිටි, ලවුඩ්ස්පීකර් කුලියට දුන් රේමන්ඩ් අයියලාගේ ගෙදරත් අපි ගිය ගමන් බිමනුත් මට මතක තියේ.

ඒ ගමන් බිමන් එහා මෙහා වී, ඕ ලෙවල්, ඒ ලෙවල් වී, කොළඹ කැම්පස් කාලේත්, පහුව අපි එහා මෙහා වුනත්, ගමේ පල්ලියේ දී, මග තොටේ දී මුණ ගැහෙන, දැක්ක තැනක් වේ නම් දුවං ඇවිත්, අත පතගා බදා ගෙන ආදරෙන් නෑදෑකං කියා කතා කරන නිරංජන්ලාගේ අම්මා, නිරංජන් ඉතාලි ගිය කතාත්, ඉතාලියේ විස්තරත්, ලේලිගේ මිණිපිරිගේ කතාත්, කියා කතාකර ඇති මුත්, ඒ කාල වලින් පස්සේ, නිරංජන් හා වචනයක් කතා කරන්නට ලැබුණේ නම්, එක දවසක හදිසි ගමනක් අතරතුරක, පාර අයිනේ වාහනය නවත්තාගෙන ගතකල පුංචි මොහොතක දෙකකදී ය.

එකම පංතියේ එක ඩෙස්කයේ දෙපැත්තේ වාඩිවී හිටි යාළුවන් වුනත්, අපි හැමෝම ලොකු මහත්වී දරුමල්ලන් හදා වඩා, අපේ ගමන් යමු. ඒත් අර නෑදෑකම්, මිත්‍රකම් ලේසියෙන් එහා මෙහා වෙන්නේ නැත. දිරාපත් වෙන්නේ ද නැත.

කලක හිට මුහුණු පොතෙන් දුක සැප බෙදා ගන්නා නිරංජන්, මේ මාර්තු මාසයේ මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් ඡන්දය සඳහා ලොම්බර්දියා පළාත වෙනුවෙන් PD පක්ෂයෙන් තරඟකරයි.

මගේ මේ පුංචි සටහන කියවන ඔබ හෝ ඔබ දන්නා අඳුනන කවුරුන් හෝ, ඒ පලාතේ ඉන්නවා නම්,  මගේ යාළුවා වෙනුවෙන් ඔබේ පුංචි කතිරය පාවිච්චි කරන්නැයි මගේ ඉල්ලීමයි මේ. අපේ යාළුවන්, විශේෂයෙන් නිරංජන් වගේ යාළුවන් වෙනුවෙන් මේ වගේ පුංචි උදව්වක් ඉල්ලන්නට, අපි නම් සල්ලි ගන්නේ නැත.


"මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් ඡන්දය සඳහා ලොම්බර්දියා පළාත වෙනුවෙන් PD පක්ෂයෙන් තරඟකිරීමට ශ්‍රී ලාංකිකයෙකු වන නිරන්ජන් වාස් මහතාට අවස්ථාව උදාවී ඇත. ඒ ශ්‍රී ලංකා පොදුජන කේන්ද්‍රය වෙත PD පක්ෂය විසින් ප්‍රධාන කරන ලද අපේක්ෂක දූරයෙනි. පළාත් ඡන්දයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීමම සතුටට කරුණකි. මෙවර ඡන්දය කොට්ඨාශ මට්ටම පදනම් කරගනිමින් පැවැත්වෙන නිසා ඔහුට ජයග්‍රහනය කිරීමට අවශ්‍ය වනුයේ මිලානෝ දිස්ත්‍රික්කයේන් පමණි. එබැවින් අපි සියළු දෙනා එක්ව ඔයුගේ ජයග්‍රහණය තහවුරු කර ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ ඉදිරි ගමන සුරක්ෂිත කර ගමු."



Continue Reading...

Wednesday, February 7, 2018

අඟහරු වෙත යන ස්ටාර් මෑන් ගේ මොටෝ රථය


පෙබරවාරි හයවෙනිදා, දහවල් සඳ ගමනට ඇපලෝ යානා ගුවන් ගත වූ ඇමරිකාවේ කෙනඩි අභ්‍යවකාශ තොටුපලින්, මොටෝරථයක් අගහරු කරා ගමන් කරන්නට පිටත් විය. මේ රතු පැහැති ටෙස්ලා රෝඩ්ස්ටර් රථය පදවන්නේ ස්ටාර් මෑන් ය. ඉහත ඇත්තේ පෘතුවිය වටා කක්ෂයකට පිවිසි ස්ටාර්මෑන්, සිය මොටෝරියේ සිට අපේ පෘතුවිය දෙස බලා සිටින, සේයාරුවකි.

අජටාකාශගාමියකු සේ සැරසී සිටියද, ස්ටාර්මෑන්, ඩමියකි. ඔහු පදවන, මොටෝරිය, දැනට ලෝකයේ විශාලතම රොකට්ටුව සේ හැඳින්වෙන යෝධ රොකට්ටුවක් මගින් වායු ගෝලයෙන් පිටතට ඔසවා, කක්ෂගත කරනු ලෑබීය.

එලෝන් මස්ක් ගේ, ස්පේස් එක්ස් (SPACE X)  සමාගම මගින් ගුවන්ගත කල මේ මොටෝරථය, විශාල ප්‍රමාණයේ උපකරණ, චන්ද්‍රිකා ආදිය අභ්‍යවකාශ ගත කිරීමේ හැකියාව අත්හදා බලන පර්යේෂණයක් වන්නේය. එ් කාර්යය සඳහා නිපදවුනු 'ෆැල්කන් හෙවි'' යෝධ රොකට්ටුවේ ප්‍රථම ගුවන්ගත වීමද මෙයම වෙයි.

රොකට් එන්ජින් නවයකින් සමන්විත 'ෆැල්කන් 9' රොකට්ටු, තුනක් එකට ඈඳා නිමවූ ෆැල්කන් හෙවි රොකට්ටුවට, රාත්තල් 140000 ක බරක් අභ්‍යවකාශ ගත කල හැකිය. ෆැල්කන් 9 රොකට්ටුවල විශේෂත්වයක් වන්නේ, ඒවායේ රොකට් යන්ත්‍ර කොටස නැවත පෘතුවිය මතුපිටට පැමිණීමට හැකිවන අයුරින් නිමවා තිබීමයි. ස්ටාර්මෑන් ගුවන් ගතවූ ප්‍රථම ෆැල්කන් හෙවි රොකට්ටුවේ කොටස් තුනින්, ප්‍රථම කොටස් දෙක, නිරුප්‍රදිතව කෙනඩි අභ්‍යවකාශ තොටුපලට පැමිණි අතර, සයුර මැද වේදිකාවකට ගොඩ බැසීමට නියමිතව තිබූ තෙවන අදියර, මුහුදට වැටී විනාශ වූ බව වාර්තාවේ.

පැය හයක පමණ කාලයක්, පෘතුවිය වටා කරකැවුනු ස්ටාර් මෑන්, අඟහරු කරා ගෙනයන අවසාන කක්ෂයට පිවිසවීමට සිදුකල රොකට් දහනයේ සිදුවූ වෙනසක් නිසා, ඔහුගේ ගමන් මග ඈත අභ්‍යවකාශයේ, අඟහරු හා ජුපිටර් අතර ඇස්ටරොයිඩ් (උල්කාශ්ම) කලාපය දෙසට යොමුවී තිබෙනවා.

ස්පේස් එක්ස් සමාගමේ මූලික අරමුණ වූයේ, අභ්‍යවකාශයට චන්ද්‍රිකා හා වෙනත් උපකරණ ගෙනයාමට ෆැල්කන් යානාවල හැකියාව පිරික්සීම මිස, අඟහරු කරා යාම නොවුනත්, පෘතුවිය වටා ගමන්කල ටෙස්ලා රෝඩ්ස්ටර් රථය පැදවූ ස්ටාර්මෑන් ගේ ගමනේ වීඩියෝ දර්ශන, සජිීවීව යූ ටියුබ් හරහා මුළු ලොවටම මුදා හැරුණා.
















Continue Reading...

Friday, January 19, 2018

කොළපාට නිල්පාට වීම හා පීටර් මහත්තයාගේ නොමිනේෂන් කතාව

නවසිය අසූ ගණන් වල දී අද තියන ප්‍රාදේශීය සභාව එන්නට පෙර වෙන්නප්පුව සුළු නගර සභාවක් ලෙස පැවතුණි. සුළු නගර සභාව නැත්නම් ටවුන් කවුන්සිලයත් පක්ෂ පක්ෂ වල අය ඡන්ද තියා පත්වෙන කොට්ඨාශ කීපයකට බෙදා තිබුණු අතර, එදා ව ඒ ඡන්ද අද වාගේ වේදිකා අටවා, පක්ෂ නායකයින් ඇවිත් පච හලන හෝ අඩුම ගානේ පෝස්ටර් කටවුට් තාප්ප පොල්ගස් ලැයිට් කණුවල අලවන තරමටවත් දියුණු ඒවා වුනේ නැත. වැඩිම වුනොත් පාට සව්කඩදාසි රැල් එල්ලීමත්, එතනින් එහාට කොළපාට නිල්පාට රෙදි කොඩි, ලොකු හතරැස් එව්වා මෙන්ම, අමුඩ ලේන්සු වැනි තුන් හුලස් එව්වාත් කොහු ලණු දිගේ එල්ලීම සාමාන්‍ය ඡන්ද සැරසිල්ල විය.
ඔය කියන වෙන්නප්පුව සුළු නගර සභාවේ අපේ කොට්ඨාශයේ (මතක හැටියට අංක පහ) මැම්බර් මහත්තයා  වුනේ අපේ තාත්තා ය. එයා හැට ගණන්වල දී යූ. එන්. පී. මැම්බර්ය. ඒ මැම්බර් ඡන්දය දවසේ අඳින්නට ‍කොළපාට කමිසය අරන් ආවේ පල්ලිය හංදියේ හයරින් කාර් එකක් දුවවාපු පෝල් අයියා ය. හැඩරුවත් එක්කම හරියටම කිව්වොත් බඩ පෝල් අයියාය. බොත්තං කාස තියන මැද පටිය දෙපැත්තටම සුදුපාට රේන්දයක් ඇල්ලු ඒ කොළපාට බුෂ් ෂර්ට් එක පෙට්ටිය පිටින් ම ගෙනැත් සාලේ මේසය උඩ තියනවාත් කට්ටියම ඒකේ හැඩවැඩ බලනවාත් මට මතකය. තාත්තා එක්ක ශ්‍රී ලංකාවෙන් ඉල්ලුවේ කොස්ගස් හන්දිය හරියේ කුලි කාර් එකක් එලවාපු ජෝන් කෙනෙක් කියා මතකයක් තිබුණත් එයාගේ වගතුග ගැන වැඩි විස්තරයක් මතක නැත.

එදා ඒ චන්දය දිනූ දා හවහ තාත්තා ගෙදර ආවේ ආධාර උපකාර කාරයින් පිරිවරා ගෙන තරමක පෙරහැරකිනි. ගෙදරට හැරෙන තැන මහපාර අයිනේත් ගේ ඉස්සරහම වාගේත් රතිඤ්ඤා වැල් දෙකක් පත්තු විය. අලියා බැජ් එකක් තාත්තාගේ කමිස සාක්කුවේ අවුණා තිබුණි. කොළපාට සව් කඩදාසි වලින් හදා, රත්තරන් රිදී සරුවපිත්තල කෙඳි අමුණාපු මල් මාලයක් බෙල්ල වටේ තිබුණි. තාත්තා හිනා වෙද්දී කිරි උතුරන ලස්සණක් තිබේ. එදා එයා ගෙදර එනවා තාමත් මතක තියෙන්නේ ඒ හිනාවත් එක්කය.
කොළපාට සව් කඩදාසි වැස්සකට අහුවුනොත් බොහොම ඉක්මනින් හේදී සුදුපාට වෙයි. ඒ කාල‍යේ නම් මොන පාට සව්කඩදාසිය උනත් වැහි දෙකතුනකින් පස්සේ සුදු පාටය.
හැත්තෑවෙන් පස්සේ අපේ තාත්තා වෙන්නප්පුව නගර සභාවේ අපේ කොට්ඨාශයේ ශ්‍රී ලංකා මැම්බර් වූයේය. ඒ මැම්බර් ඡන්දයේ ඉස් ඉස්සෙල්ලාම දින්නේ තාත්තාය. තාත්තා නිල්පාට ෂර්ට් එක ඇඳලා ශ්‍රී ලංකා මැම්බර් වුනේ නොමිනේෂන් දුන්නු දවසේමය. දන්නා තාක් කල්, යූ. ඇන්. පී. ‘පතාක යෝධයෙක්’ වූ තාත්තා හැත්තෑවේ රැල්ලෙන් නිල්පාට වුනාට පස්සේ, යූ. ඇන්. පී. නොමිනේෂන් එක දෙන්නට කෙනෙක් හොයාගන්න එක තරමක් අමාරු වැඩක් වුනා කියා අපේ ගෙදර කතාවලින් මතක තියේ. අන්තිමේ අලියාගෙන් නොමිනේෂන් ලැබුණේ පීටර් මහත්තයාටය. මට මතක හැටියට වැඩිපුරම පාවිච්චි වුනු නම නං සුරුට්ටු පීටර්ය. එයාගේ කටේ සුරුට්ටුවක් පේන්න නොතිබුණේ කලාතුරකිනි. මට මතක තරමින් හන්දියේ තේ කඩවල ජනතාව අතරම වාගේ ගැවසුනු පීටර් මහත්තයා, හවහට අපේ ඉස්කෝල පිට්ටනියේ ක්‍රිකට් ගහපු කට්ටියේත් හිටියේය. ගමන පයිනි. හරිම සැහැල්ලු ජීවිතයකි.
ඒත් නොමිනේෂන් දෙන දවසේ, කොස්ගස් හන්දියේ ශ්‍රී ලංකා කොල්ලන් ටිකකට, පීටර් මහත්තයාගේ සැහැල්ලු ජීවිතය මැම්බර් කමකින් බරපතල වීම ගැන දුකක් කණගාටුවක් හිතී තිබුණි. ඒ දුක සංකාව හින්දා ම, නොමිනේෂන් කඩදාසි මිටියත් කිහිල්ලේ ගහගන සුරුට්ටු දුමත් දමාගෙන සුපුරුදු පා ගමනින් නගර සභා ශාලාවට නොමිනේෂන් දෙන්නට ආපු පීටර් මහත්තයාගේ පිටිපස්සෙන් පුෂ් බයිසිකලයකින් ආපු දෙන්නෙක් ඒ කඩදාසි මිටිය ඉල්ලාගෙන ගියෝය.
ගෙවල් ගෙවල් ගානේ රැස්වීම් තියලා, ගම වටේ ගිහිල්ලා නිල්පාටට ෆයිට් එකක් දීලා කොළපාටින් මැම්බර් වුනු අපේ තාත්තා කොළපාට අත ඇරලා නිල්පාටට ආපු සංතෝෂෙට, නොමිනේෂන් දුන්නු දවසේම නිතරඟයෙන් මැම්බර කරන තරමට නිල්පාට කොල්ලන්ට හිත පැහැදී තිබුණේ ය.
කවුරු කොහොම කිව්වත්, උපන් දා ඉඳලාම මේ විදිහෙන් හෝ අර විදිහෙන් හෝ කොළපාට නිල්පාට දැකලා පුරුදු මට හිතෙන හැටියට නම් ලංකාවේ මොනම ඡන්දයකදී වුනත් ඔය පාට දෙක අතර වෙනස යාන්තං කහපාට ටිකක් විතරක්ම ය.

කහ අඩු වුනාම නිල්වෙයි. වැඩි වුනාම කොළ වෙයි. ඔය වකවානු දෙක අතර මැද්දේ දී ඉල්ලපු නොඉල්ලපු මෙන්ම දුන්නු නොදුන්නු කාට කාටත් කෙළවෙයි. රතුපාට එහෙන් මෙහෙන් උදේට හවසට හෙලවුනත්, ඒකත් රතට කිට්ටු රෝස පාටක් මිස හරියාකාර රතක් වෙන්නට අපේ ගම් පලාත් වල නම් ඉඩකඩක් ලැබුණේම නැති තරම් යැයි හිතෙයි.

ඉතින් ඔය ක්‍රීඩාවේ තොරතුරු නම් එදත් එහෙමය අදත් එහෙමය කියනවා මිස එයිට වැඩි යමක් එකතු කරන්නට බැරි නමුත්, දැන් මේ අල්ල පනල්ලේ අවුරුද්දකට දෙකකට කලිනුත් මූණු පොතේ කුරුටු ගා තිබූ මේ සිද්ධි ආයේත් ලියවුණේ, ඔය කියන චන්ද කාරයින් අද ඉල්ලුවා නම් මොන මොන විදිහෙන් පැටිකිරිය හා සව්දම කියා පෝස්ටර ගහන්නේ දැයි හිතුණු නිසාය. ඉතින් මේකට පින්තූරයක් හොයන අස්සේ, සරුංගලය තේරුණේ නම් පක්ෂයක් නැති ගමේ මිනිහෙක් කියා ලියාලාම තියෙන හින්දා මිස, දැන ඇඳුනුම් කමකට නම් නොවේ.

Continue Reading...

Sunday, January 14, 2018

ඊ. එන්. එකසිය අසූ හත



ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය.

ශ්‍රී ගෙනාවේ ශ්‍රී ලංකාකාරයා වූ බණ්ඩාරනායක නමුත් එක ශ්‍රී එකේ තහඩුව ජෝන් කොතලාවල ගේය. මේ කාලයේම ටකර් කොම්පැණියේ කාර් සේල්ස්මන් කෙනෙකු වූ අපේ තාත්තා මිලදී අරගත් අළුත්ම ශ්‍රී වාහනයේ තහඩුව එක ශ්‍රී එකසිය පහලවය. ඒක ඒ් කාලේ නම් කිරිපාට ඕපල් රෙකාඩ් වාහනයකි. අළුත් කාර් එකක් ගත්තත් ඒ වෙද්දී හද හදා හිටි ගෙදර වැඩ කටයුතු ඉවරකරන්නට, මුදල් උවමනා වූ හින්දා ඒ එක ශ්‍රී වාහනය, ඊ. එන්. වාහනයක් සමග අතපිට මුදලකට හුවමාරු කරන්නට තාත්තාට සිද්ධ වී තිබේ. මේ හේතුව නිසා ආ ගමන් ගත්තා වුනත් වැඩි කාලයක් ‘ශ්‍රී‘ කාරයක් පදින්නට තාත්තාට ලැබුණේ නැත. එ් කාලයේ යූ අැන්ඩ් පී කාරයකු වූ එයා හරියටම ශ්‍රී ලංකාවට අාවේ නම් හැත්තෑවේ දීය. එව්වා ගැන වෙන වෙන තැන්වල ලියා තිබේ.

ගමන් බිමන් යද්දී, අතර මගදී, අර එක ශ්‍රී එකසිය පහලව ඇඟිල්ල දික්කර පෙන්නූ නමුත් අපේ තාත්තා වූ, බේබි මහත්තයාගේ වාහනය, ඊ. එන්. එකසිය අසූහත අංක තහඩුව දරණ දොර හතරේ කළු පාට වොක්ෂෝල් වයිවන් මෝටර් රථය වුනේ එහෙමය. ඒ නවසිය පණස් හත, පණස් අටේ දී විතරය.

ඒ දවස්වල ගම්පලාතක්ම වූ අපේ පැත්තේ බොහෝ දෙනා ගමේ ගොඩේ කාර් සේරගෙම පාහේ අංක තහඩු දැන සිටියෝය. අයිතිකාරයාගේ නම නොකියා වාහනයේ අංකයෙන්,

“දවසටම පණස් හතයි විස්ස දැක්කෙ නෑ නේහ්“

“අද කොළඹ යන දවසනේ.... හවහ එයි“

වැනි කතා බහ අපේ පැත්තේ හන්දියක කඩපිලක සිද්ධවෙන සාමාන්‍ය කතා බහ විය. අපේ තාත්තා, පොතේ ලියා ඇති හැටියට නම්, ඉඩම් හිම් වැවිලිකාරයෙක් වුණත්, කෝකටත් තෛලය වාගේ කාගෙ කාගේත් උවමනා එපා කම් වල දී, කාට කාටත් උවමනා එපා හැමදේම කරන කරදෙන, දැන් කාලයට සුදුසු භාෂාවෙන් කියනවා නම් ග්‍රාමීය සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වූ, චුට්ටක් අමුතු තාලේ මනුස්සයෙකි. ඒක නිසාම බොහෝ විට ඊ. එන්. එකසිය අසූහතේ ගමන් බිමන් ගියේත්, අපේ ගෙදර අයට වඩා, ගමේ ගොඩේ කට්ටියය කිව්වොත්  එ් හැටි වරදක් නැත.

කාර් පදිනවා නොව කාර් එළවන කාලයක් වු ඒ කාලයේ කාර් එලවූ බොහෝ අය මෙන්ම, අපේ තාත්තාත්, කාර් එකේ සරුවාංගයම පාහේ අත පතගා, තෙල් පත්තු බැඳ, පිලිසකර කරන්නට හැකියාවක් තිබුණු, යතුරු අඬු බඬු, අතට පයට හුරු පුරුදු, පුද්ගලයෙක් වීය.

කාර් එක ස්ටාට් නොවෙනවා නං, කරන මූලික අත් වෙදකම වූ තල්ලු ස්ටාට් එකක් දැමීම, අපේ ගෙදර කවුරුත්, අම්මා නංගිලා ඇතුළු හැමෝම ඇතුළුව මනා ලෙස ප්‍රගුණ කල ගොඩ වෙද කමකි. අහලක අත් උදව්වට කවුරුවත් නැතත්, දොර කවුළුවෙන් අත දමා සුක්කානම කරකවන ගමන් තනියෙන්ම කාර් එක තල්ලු කරලා, යාන්තං පල්ලමකට වට්ටා, දුවන කාර් එකේ දුවලා එල්ලී නැගලා, කල්ච් එක පාගා ගියර් එක දාලා ස්ටාට් කරගන්න සෙල්ලම පවා අපේ තාත්තා කරනවා මට දැක පුරුදු තිබේ.

අපේ ගෙදර හිට හලාවත පාරට දිවෙන යාර දෙතුන් සීයක බොරළු පාරේ ඉහලට පහලට මේ වාහනය තල්ලු කරන එක, විශේෂයෙන් මගුල් ගෙදරක හෝ පල්ලියක මංගල්ලයට යන්නට ඇඳුම් කැඩුම් අැඳගෙන, අම්මලා නංගිලා අයියා අපි හැමෝම මේ වාහනය පස්සේ හායි හූයි කිය කියා තෙරපෙන එක, එක දවසක් දෙකක් විතරක් වුනු දේකුත් නොවේ. එවැනි වෙලාවට, උත්සාහය හා විශ්වාසය පළුදු වන්නට නොදී, හරියටම ස්ටාට් වුනේ නැතත්, එහෙන් මෙහෙන් පුටු පුටුවක්, යාන්තං දුම්පාරක් හෙම දමා, මේ තල්ලු සප්පායම තව තවත් දිග්ගස්සගන්නට ඊ. එන්. එකසිය අසූහතත්, හොඳාකාරවම දැන සිටියේය.

වොක්ෂෝල් වයිවන් වාහනය ඉස්සරහ ආසනයේ තුන් දෙනෙකුත් පිටුපස ආසනයේ තුන් දෙනෙකුත් වශයෙන් උපරිමයෙන් හය දෙනෙකුට ගමන් කරන්නට හදාපු වාහනයකි. ඊ. එන්. එකසිය අසූහතට ඔය සුද්දාගේ මගී සීමාවල් තිබුණේ නැත. අනෙක් අතට තල්ලු ස්ටාට් එකකින් පහුව, වාහනේ ස්ටාට් කල ඈයින්ව පයින් ගෙදර යැවීමේ සිරිතක් අපේ තාත්තාට තිබුණේත් නැත. සමිති සමාගම් වල රැස්වීම් ඉවර වී සාමාජික සාමාජිකාවන් ගෙවල් වලට අැරලන්නට වූ වෙලාවල් වල දහ දොලොස් දෙනෙකුට වැඩි මහ මිනිසුන් පිරිසක් මේ මෝටර් රථයේ සීට් වල මෙන්ම, බිම ද වාඩිවී, එල්ලී දිගාවී ගමන් ගිය දවස් මට මතක තිබේ. එක්තරා කාලයක ආණමඩුවේ අතුරු මැතිවරණයකට අත් උදව්වට ගිහින් යාළු මිතුරු වූ, පවුල් තුන හතරක කාණ්ඩයකුත් පටවාගෙන අනුරාධපුරයේ වට වන්දනාවට ගිය කතාවක විස්තරය අපේ අම්මා කියනවාත් මා අසා තිබේ.

ඒත් ඒක තාත්තාගේ වාහනේ හින් දා අපේත් වාහනේ විය. අපේ අම්මා 'ඕල්ඩ් ග්ර්ල්' කියා හැඳින්වූ එකසිය අසූහතේ මට මතකම ගමන, එක් අවුරුද්දක මඩු පල්ලි ගිය ගමනයි. අපේ තාත්තලාගේ කාණ්ඩය මඩු පල්ලි යන්නේ අගෝස්තු මංගල්ලයටය. ඒක නයිනාමඩමේ කාණ්ඩයකගේම සිරිත වී තිබුණි. අවුරුද්දකට සැරයක් යන මේ ගමනට කාර් එක පිලිසකර කර ගැනීම ප්‍රධාන කාර්යයක් වෙයි.

වාර්ෂික ගමනක් වූ මේ ගමනේ දී, ඉස්සරහ ආසනයේ අම්මාත් තාත්තාත්, නංගිලා එක්කෙනෙක් හෝ දෙන්නාම වාඩිවී ගියා වූව ද, පිටිපස්සේ නම් අයියාටත් මටත් ඇලිස් අක්කාටත්, ඇලිස් අක්කාගේ පුත්‍රයා වූ හයසින්ටත් බොහෝවිට ගමනට එකතුවන දයාරත්න වැනි පිරිමි පරාණයකටත්, එයිට අමතරව ගෙදර අත් උදව්වට හිටි සුනිල්ටත් වශයෙන් හය දෙනෙකුට පමණ ඉඩ තිබේ. යන්නේ මඩුපල්ලි වුවද, කවදා කොහේ ගිහින් කවදා ගෙදර ඒ දැයි හරියටම කියන්නට බැරි මේ ගමනේ හැකි තැනක නැවතී ඇලකින් දොලකින් නාලා උයාගෙන කාලා නිදාගන ගිමන් ඇරලා නිදහසේ යන්නට උවමනා අඩු වැඩිය අඩුම කුඩුම සියල්ලමත් රැගෙන යා යුතු වෙයි. මේ දේවල් අහුරන ගෙන යන පිළිවෙලක් ද තියේ. හැමෝගේම පැදුරු එක උඩ එක එලා, ඒ මැදට කොට්ට පොරවන සියල්ල අඩුක් කර ඔතා බඳින පැදුරු මිටිය, මඩු පල්ලි යන්නට සතියකට දෙකකට කලින් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇවිත් කාර් එකේ වහල මැද සවිකරන හුඩ් රැක් එකේ තැන්පත්වන ප්‍රධානම භාණ්ඩයය. එයින් අමතරව, පෙට්ටි සූට්කේස් ආදියත් වහලය උඩ රැඳවෙන අතර, ඩිකියේ ඉඩකඩ ඉවර වූ පසු ඉතිරිවන බාල්දිය, හට්ටි මුට්ටි, අතර මගදී මගට කන අළුවා, අග්ගලා, විස්කෝතු පාර්සල ආදිය නතරවෙන්නේ, කාගෙ කාගේත් කකුල් අතරය. මේ බඩු භාණ්ඩාදිය එකතු වූ විට, එන්ජිමේ බර බැලන්ස් වී, ඊ. එන්. එකසිය අසූහත, යාන්තමට වාගේ අහස දිහාවට ඇස් උස්සා හිනා වෙනවා වගේ පෙනෙයි.

හැම දේකම වගේ මේ වාහනයේත් මර්මස්ථානයක්, එනම් චුට්ටක් දුර්වල නිලයක් තිබේ. ඒක තියෙන්නේ ගියර් පෙට්ටිය ඇතුලේ, ගියර් රෝද එහා මෙහා කරන ප්‍රධාන යකඩ පට්ටම කෙළවර ය.
මෙන්න මේ පින්තූරයේ රතු පාට රවුම ඇතුලේ ය.



බැළූ බැල්මට කට්ටයක් කැපූ තරමක යකඩ ඇණයක් වගේ පෙනුනත්, ගියර් පෙට්ටියේ නායක දැති රෝද එහා මෙහා වුනේ මේ පුංචි කට්ටය කැපූ ඇන කෑල්ලේ පිහිටෙනි. කරදරය තිබුණේ නිතරම මාන්සිවෙන මේ කට්ට ඇන හිසේ, එක පළුවක් දෙදරා වෙන්වී කැඩී යාමයි. ප්‍රතිඵල දෙකකි. ගියර් මාරුව අබලන් වීම ප්‍රධාන එකය. අර දැතිරෝද පෙට්ටිය ඇතුලට වැටුනු චුට්ටං යකඩ කෑල්ල, එහෙ මෙහෙ ගිහින් දඟ කිරීම නිසා, රෝදවල දත් ගැලවීමට පුළුවන් කම අනිකය.
ඔය කියන ඇණ කෑල්ල මේං මේ වාගේ එකකි.



මේ ලෙඩේට කළ යුතු ශල්‍යකර්ම සාත්තුව සැරයක් දෙසැරයක් නොව හත් අට වතාවක්ම කරලා අපි කවුරුත්, ඒ කියන්නේ අයියාත් මමත් දයාරත්නත් අම්මාත් තාත්තාත් හොඳින් දැන සිටි එකකි.

පියවර කීපයකි.
(1) වාහනේ යටට රිංගා ගියර් පෙට්ටිය ගලවා පහත් කර එළියට ගැනීම
(2) උඩ පියන ගලවා ගියර් ලීවර් ගලවා, පැත්තක් සොච්චං වු ඇණය ගලවා ගැනීම
(3) ගියර් ඔයිල් භාජනයකට අයින් කරලා ටෝච් අල්ලා, කම්බි කූරු අඬු කතුරු කාන්දං කෑලි ඔය මොනවා හෝ යොදාගෙන අර කැඩී වැටිච්ච තව් කෑල්ල තෝරා බේරා එළියට ගැනීම
(4) සොත්ති වූ ඇණ කෑල්ල ලියවන පට්ටලයකට ගෙන ගොස් අළුත් ඇණ කෑල්ලක් ලියවාගන ඒම
(5) අළුත් කෑල්ල අවුණා, ගියර් ලීවර හයිකරලා ගියර් පෙට්ටිය එකලස් කිරීම
(6) වාහනේ යටට රිංගා ආයේත් ගියර් පෙට්ටිය හරියට සෙට් කරලා ඇණ මුරිච්චි දාලා සවි කිරීම
(7) තෙල් දාලා ලීක් හොයලා ගියර් චෙක් කරලා ට්‍රයල් යාම

මෙව්වා සිද්ධවෙන අතරින් පතර නොහොබිනා වැඩද කරන්නට මේ වාහනය අති සමර්ථය. ගියර් පෙට්ටිය පස්සේ ඩිපරැන්ෂල් වලට සම්බන්ධ වෙන හරියේ අනවශ්‍යය වෙලාවට ලෙඩදෙන ඔයිල් සීල් එකක් තිබේ. ගියර් පෙට්ටි පියනත් පෙට්ටියත් අතර ගෑස්කට් එකක් තිබේ. ගෑස්කට් නම් පරණ ෂර්ට් පෙට්ටි පට්ටයකින් වුනත් කපා හයි කරන්නට පුළුවන් නමුත් අර ඔයිල් සීල් එක කොච්චර ටේප් දාලා පොටි ගාලා හැදුවත් ලේසියෙන් රෙපයාර් කල හැක්කක් නොවේ.

ඉතින් මේ කියන මඩු පල්ලි ගමනේ දී, ඊ.එන්. එකසිය අසූහතට මේ ලෙඩේ හදා ගන්නට මතක් වූයේ, පුත්තලමත් පහුකරලා දහය හෝ පහලව කණුවට විතර කිට්ටුවය. ගූගල් සමාගමේ සිතියමට අනුව මගේ නිච්චිය නම් ඉහල පුලියන්කුලම හරියේ විය යුතුය. ඒ දවාලට උයාලා කාලා එදා දවස ගතකල පාර අයිනේ වැව් පිට්ටනියේ මතකයෙනි. ඒ වැව අයිනේ දිගටම තිබුණේ දං ගස්ය.

අතේ ගෙනියන තියා ගෙදර මේසය උඩ තියන ටැලිපෝන් එකක්වත් නොතිබුණු, එක්ස්චේන්ජ් එකෙන් පිටට කතා කරනවා නං, බිංදුව කරකවලා නොම්මරය කියලා කෝල් එක සම්බන්ධ කරවා ගත් ඒ කාලයේ, කැඩිච්ච වාහනයක් පාර අයිනේ කෑලි කරන එක සාමාන්‍ය සිද්ධියක් වූ අතර, වැඩේට අවශ්‍ය යතුරු අඬු මන්න පිහියා කතුරු පිහි මෙන්ම, අඩ තියන ලී කොට වලින් ද සන්නද්ධ නොවී ගමන් බිමන් යෑමේ පුරුද්දක් අපේ තාත්තාට තිබුණේ ද නැත.

ජැක් ගසා වාහනය උස්සා අඩ තියා, යට රිංගාගන ඇණ මුරිච්චි ගලවන තාත්තාට අර යතුර මේ අඬුව ආදී වශයෙන් අත් උදව් දීමත්, ගලවා අතට දෙන ඇණ මුරිච්චි පිළිවලට පරිස්සමට තැබීමත් පවුලේ පිරිමි ළමයින් වූ මගේත් අයියාගේත් කාර්යයන් වූ අතර, අපට අත් උදව් දීමට දයාරත්නත් හයසිනුත් වූහ.

ගලවාපු කරදරකාර ඇණ කෑල්ල පුත්තලමට ගොස් ලියවාගන ආයේ නම් දයාරත්නය කියා මතක තියේ. එයා ගිහින් එනතුරු අපි දවාලට කාලා වැව් පිට්ටනියේ දං ගස් යට පැදුරු එලාන නිදාගත් අතර, එදා හවස් වෙද්දී කලා ඔය පල්ලියටත්, ඉන් පහුවදා දවාලේ අනුරාධපුරයටත් ගොස් අනුරාධපුරයේ දී, අර කාන්දුවෙන ඔයිල් සීල් එක හදාගන්නට, ගැරේජ් බාස් කෙනෙක් සමග අපේ තාත්තාට සෑහෙන හෙට්ටුවක් හෙට්ටු වෙන්නට සිද්ධ වූ බවත් මගේ මතකයේ තිබේ.

මේ ඊ.එන්. එකසිය අසූහත අපේ තාත්තා පිටත්වී ගිහිනුත් අවුරුදු විසි පහක් පමණ අපේ ගෙදර නැවතී හිඳ අන්තිමේ යන්නට ගියේ දෙදාස් දාහතර අවුරුද්දේ ජනවාරි මාසයේ දීය.









එයා ගැන ලියන්නට තවත් නොයෙකුත් කතා තිබෙන නමුත් ඒවා වෙන වෙන වෙන වෙන කතා හැටියටම හැකි හැකි හැටියට ලියන එක වඩාත් හොඳය හිතේ.

ආරංචිවල හැටියට නම් වොක්ෂෝල් කොම්පැණිය තවමත් වාහන බිස්නස් එක නවතා නැත. එයාලා ගැන බොහෝ කරුණු කාරනා මේ සබැඳි ජාල අඩවියේ තියේ.


http://www.vauxpedia.net/

ඔය ඉහල තියන පින්තූර වලට අනුව ශතවර්ෂ කාලක් විතර අන්ධකාර කාමරයක වහංවී සිට ජරාජීර්ණ වුනත්, නාලා කාලා සැන් පවුඩර් දා ඇඳලා ජේත්තුවට හිටි කාලයේ අපේ ඕල්ඩ් ග්ර්ලුත් පහල පින්තූරයේ වගේමයි කියා මට අදවාගේ මතකය. මෙයා නම් සැපට සුකුරුත්තමට හදා වඩා ගත් නිසා අදටත් කෙල්ල වාගේ ඉන්නා එංගලන්තයේ වාහනයකි. ඒ වාහනයේ අංක තහඩුවේ අපේ මානෙල් කැම්පස් කාලේ අැඳපු චීත්ත මෝස්තරයක් සටහන් වී ඇතිය හිතෙන හේතුව නම් මට හිතාගන්නට බැරිම එකකි.



  

ගෙතූ කතාවල හැංගී ඇති තේරුම් පාඩම් හොයන්නට අප පෙළඹෙන නමුත්, ජීවිතය අප වටා ගොතන කතා දෙස ඒම තමයි ඉතින් ජීවිතය කියා අහක බලාගන්නට හිතෙන අය වෙනුවෙන් මේ පුංචි පසු සටහන තබමි. ඒ මේ සටහන අපේ තාත්තාගේ වාහන හැදිල්ල හා පැදිල්ල ගැන හුදු මතක සටහනක්ම නොවන නිසාය. .

ඉතින් ටිකක් ලංවී කියවා බැළුවොත්
(1) ඕනෑම අළුත් වාහනයක්, හරියාකාරව බලා කියා නොගත්තොත් ජරා ජීර්ණ වන බවත්
(2) මාතලී පදවන වෛජ්‍යන්තයේ වුනත් කොහේ හෝ තැනක මර්මස්ථානයක් ඇති බවත් ඒ ගැන දැන කියාගෙන සූදානමින් සිටීම වැදගත් බවත්
(3) කොයියම්ම හස්ති රාජයා වුනත් චූට්ටං යකඩ අැණ කෑල්ලක් දෙදරා ගොස් දණින් වැටිය හැකි බවත්
(4) එවැනි වෙලාවල කළයුතු නොකල යුතු දෑ අනු දැන, ඒ ඒ පැලැස්තර වලට වුවමනා ඒ ඒ වෙළුම් පටි අතේ තියාගැනීම දුර ගමනක් හිතේ කහටක් නැතිව යාමට ඉතා වැදගත් වන බවත්
(5) ඔය සේරටම වඩා, අපේ තාත්තලා සීයලා අත්තලා ගේ කියුම් කෙරුම් දිහා බලා යමක් අවබෝධ කරගන්නට ටක්කෙටම පුළුවන් වෙන්නේ බොහෝවිට අපේත් දණිස් වෙවුලන වයසට ලඟා වෙද්දී බවත්
මෙතෙක් කියවාපු ඔබට පසක් වනවා ඇත.

Continue Reading...

Tuesday, January 9, 2018

ගනු කඩුව... එනු සටනට...!


ඉස් ඉස්සෙල්ලාම කියලා ඉස්කෝල කොන්සට් එකක මං රඟපෑවේ කාකවණ්න තිස්සගේ පාට් එකය. මේකත් මිස් වැන්ඩලන්ගේම වැඩකි.

අපි පුංචිම පුංචි උන්ව හිටි නිසා දෝ අපි පෙන්නුවේ ඒ මෙගා ඩ්‍රාමා එකේ ඉන්ටරෙස්ටින් ම සීන් දෙකක් විතරය. මහරජ තිස්ස නාඹර පුත්තු දෙන්නාට බත්ගුලි කවන හා ලොකු කුමාරයා ඩබල් බෙඩ් එකේ ට්‍රිපල් වී අකුලන් නිදන සීන් දෙකය. දෙවැනි සීන් එක අම්මල පුතාලගේ එකක් හින් දා මගේ ඇක්ටින් තිබුනේ නැත. කොහොමත් රජා සමග රැජිණිගේ බෙඩ් රූම් සීන් එකක් කරන්න තරම් දැනුමක් තිබුණේත් නැති කාලයක් හින්දා ඒ ගැන කහටක් හිතුනේත් නැත.

දුට්ට ගාමිණීට ඇට් කලේ ෂැම්රොක් මුදලාලිගේ පුතා අයිවන් ය.

බ්‍රැසියර් ඇන්ද තිස්සට ඇට් කලේ රෙක්ස් කීර්තිය.

රජාට ඇට්කලේ මම වුනත් කතාවේ වීරයා වූයේ නම් පරණ පොතේ හැටියටම අයිවන් ය.බත් ගුලිය ඕඩියන්ස් එකට විසිකරලා රවලා බලන වෙලේ අයිවන්ගේ මූණට අල්ලපු රතු පාට ලයිට් එකෙන්ම වීරයා එයා බව පැහැදිලිව පෙන්නුම් කෙරුණි.

ෂෝ එක එහෙම වුනත්... ශෝභමානම ඇඳුම ඇන්දේ නම් රජාට ඇන්ද මමය. රජපාට් එකේ කතාව අහපු දාම රාත්තිරියේ අපේ තාත්තා මාත් අරගෙන වයික්කාලේ ටීටර් ඇඳුම් කුලියට දෙන 'සාප්පුව' කට ගියේ, රජාට අඳින ආසාව චුට්ටං චුට්ටං වට හෝ තාත්තාගේත් හිතේ තිවුණ නිසා වෙන්නටත් ඇත. වීදුරු මැණික් කැට, කණ්නාඩි කෑලි අල්ලා කැටයම් දැමූ කළුපාට විල්ලුද හැට්ටයකුත් රතු පාට සළුවකුත් අතේ පයේ ආයිත්තමුත් ඔය සේරටම වඩා වැදගත් උකුලේ හිට යටිපතුල් තරමට දිග රිදී පාට කඩුවකුත් මගේ සූට් එකට අඩංගු විය.

කඩුව ඔරිජිනල්ය. කටුගෙයින් පන්නාපු වත්, නිදන් හාරා ගොඩදාපු වත් එකක් නොව යකඩ පට්ටමකට ඇළුමිනියම් තීන්ත ගා, ලී මිටක් වද්දා හැදූ ඔරිජිනල් කඩුවකි.

ස්ටේජ් එක උඩ දී කඩුව පාවිච්චි කරන්නට ලැබුනේ නම් නැත.

ඒත් ඉන් පස්සේ මාසයක් විතර පහුවෙන තුරු ඒක මහ අල්මාරිය අයිනේ බිත්තියට හේත්තු කර තිබූණේය.
ඔය කාලයේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත්, කරපු ලොකුම සෙල්ලම සරම තුප්පොට්ටිය ගහගෙන රජාට ඇඳ මිදුලේ, වත්තේ, හැම තැනම පාහේ උන්නු චෞර සේනාවන් එක්ක කඩුපයිට් කරන එකය....

හරියටම ජනාධිපතිවරණ නාට්ටයට වෙස් බැන්ද අය තවමත් ඉඳ හිට බුකියට ඇවිත්... කරනවා වගේමය.

22 January 2015
මිස් වැන්ඩලන් ගැන පරණ සටහන - https://lokuakuru.blogspot.com/2017/03/blog-post_33.html
Continue Reading...

Friday, January 5, 2018

පොල් සම්බෝල



සම්බෝල වර්ග කොච්චර තිබුණත් ජනප්‍රියම සම්බෝලය පොල් සම්බෝලයය. අපේ අම්මා පොල් සම්බෝල හැදුවේ ලුනු කැට දෙක තුනක් එක්ක රතුළූනුත් වියලි මිරිසුත් ගලේ අඹරා ඒකටම පොලුත් දමා අඹරා බත්තලාඳේ එකතු කර දෙහි බෑයක් දෙකක් මිරිකලා අතගාලාය.

ඉස්කෝලෙ යන කාලේ යාළුවෙක් එක්ක කට්ටිපැන දවාලට ශත විසිපහක් දීලා කඩේකින් කෑ මුල්ම දවසේ කෑවේත් පාන් කාලක් එක්ක පොල් සම්බෝල පීරිසියකි.

හතරවෙනියේ දී විතරය. ඒ කාලේ ඉස්කෝලය ඇරුනේ හවස තුනටය. ළමයි දවසට පැය හතක් ඉස්කෝලේය. ගුරු වෘත්තිය ෆුල් ටයිම් ජොබ් එකකි.

අනිත් ළමයින් හැමෝම දවාලට කෑම අර‍ගෙන ආවත් රෙක්ස් කීර්ති දවල්ට කන්න ගෙදර ගියේය. ඒ කාලයේ උන්ගේ ගෙදර තිබුණේ ලුණුවිල පාරේ ශ්‍රී ලංකා හෝල් එකට ටිකක් මෙහායින් පාරේ අනිත් පැත්තේය. පාරවල් දිගේ රටතොට බලන්නට පයින් ඇවිදීමේ පිස්සුව හොඳටම මැන්ටල් වුනු දවසක, ඉස්කෝලේ දවාලට විකුණන සීනි සම්බෝල දැමූ පාන් පෙති දෙකක් කන්නට අම්මා දුන් ශත විසිපහත් අරගෙන රෙක්ස් කීර්ති එක්ක ගොස් එතන හන්දියේ අතකොට ජුලයියාගේ කඩෙන් පානුයි පොල් සම්බෝලයි කෑවෙමි.

ජුලයියා වමත් කාරයෙකි. දකුණු අත වැලමිටට පොඩ්ඩක් පහලින් බම්බැට් එකක් සේ ශේප් වී තිබේ. ඒක කොහු මෝල් වල මැෂින් වැඩ කරද්දී චුට්ටි අතපහු වීමක් වීමකි.

ඒ දවස්වල කොහුමෝලේ මැෂින් එක කියන්නේ ඇණ ලෑලි අල්ලාපු කැරකෙන යකඩ රෝදයක් ඉස්සරහ පොඟවාපු මට්ටයක් අතට ගත් මනුස්සයෙක්ව හයිකරලා හදාපු යන්තරයකි. ඕක වැඩ කරන විට මනුස්සයා කැරකෙන ඇන රෝදයට මට්ටය ඔබා අල්ලාන හිට ආයෙත් අරන් අනිත් පැත්තත් ඔබා, ඇණ වලට සීරී කොහු බතුත් හීන් කෙඳිත් සේරම ගැලවී ගිහින් දිගට දිගේ කොහු කෙඳි මිටියක් අතේ ඉතුරු වෙනකන් අල්ලන් ඉන්නේය. මට්ටය වෙනුවට අතේ ඇඟිලි ටික හෝ උරිස්සට යනකං මුළු අතම හෝ ඇතුළු වුනොත් ඒක සෙන්ස් කර ඇංජිම නවත්තන සෙන්සර් ඒ කාලය වෙද්දී හොයාගෙන තිබුණේ නැත.

එදා ඒ ගමනේ අනික් අමතක නොවන පින්තූරය, ජුලයියාගේ කඩේ පාන් කපන පිහියය. ඒකේ තලය පාන්ම කපලා දුන්නක ෂේප් එකට ගෙවී තිබුණි. මිටට කඩදාසි ඔතලා හණනූල් බැඳලා මාත්තුවක් දා තිබුණි. ඒ වගේ එක්ස්පීරියන්ස් ඇති පිහියක් රිටයර් කරන එක අපේ මිනිස්සුන්ගේ සිරිතක් නොවේ. අනික් අතට පිහිය කරන්නේ කපන එක විතරය. පාන්වල ගුණාගුන එක්ක ඒකට සම්බන්ධයක් නැත. සම්බෝලයේ රහ ගුණ එක්ක නම් කොහොමටවත් සම්බන්ධයක් නැත.

මම කඩෙන් කන අතරේ රෙක්ස් කීර්ති ගෙදර ගිහින් කාලා ආවේය. කෑම පැය ඉවර වෙන්න වෙලා තිබුණු හින් දා, රෙක්ස් ගේ ගෙදර පිටිපස්සේ උණ පඳුරේ උණ ගහක් කපලා හදා තිබුණු භූමිතෙල් කාල තුවක්කුව බලන්නට ගියෙමු. ඊට පස්සේ ශ්‍රී ලංකා හෝල් එකේ එළියේ එල්ලා තියෙන චිත්‍රපට පින්තූරත් බලලා ආපහු ඉස්කෝලෙට එනකොට වෙලාව හරිය.

එකම අබ්ලික් එක වුනේ, ලොකු නංගිගේ දවල් කෑමට දුන්නු ශත විසිපහත් මගේ සාක්කුවේ තිබුණු එකය. අයියා නැතිවෙච්ච ඒකිගේ කඳුළු පෙරුණු ඇඬුම් මූණත් එක්ක ඊළඟ පීරියඩ් එකම ගෙවුණේ ප්‍රින්සිපල් සිස්ට හෝලි ෆැමිලි ලඟය.


ඔක්තෝම්බර් 2015.
Continue Reading...

Blogroll

About