Wednesday, January 3, 2018

නිල් ඉර පොප්ලින්....! [අවුරුදු තුනකට ඉස්සර]

Share it Please



කොළපාට හිනාවක් එක්ක උපන්, උපන් ගෙයි යූ ඇන්ඩ් පී කාරයෙක්වූ අපේ තාත්තා මා පුංචි කාලයේ ඇන්දේ යුරෝපීය ඇඳුම්ය. කොළඹ ටකර්ස් සමාගමේ අළුත් වාහන සේල්ස්මන් කෙනෙක් ලෙස මුලින්ම රස්සාව කලත් බණ්ඩාරණායක ප්‍රතිපත්ති අළුත් වාහන ගෙන්වීමට හරස්වීම නිසා රස්සාව අතහැර ගෙදර ආ තාත්තාට උවමනා වූයේ අපේ සීයලා මෙන්ම කොහුමෝල් කාරයෙක් වෙන්නටය. ඒත් අළුත කැඳ දා මැදපු සුදු කලිසමක් කෝට් එකක් නැත්නම් ඉරිදා පූජාවට නොයන තරමට ජේත්තු කාරයකු වූ එයා... 1970 වේ විප්ලවයට දායකත්වය දෙන්නට කොළපාට අතහැර ඒ කාලයේ දුංකල සුට් එක සේ හැඳින්වුනු නිල් ඉර පොප්ලින් ජාතික ඇඳුමට මාරු වී මිනිස්සුන්ගේ කරපිටින් රැස්වීම් ස්ටේජ් වලට වැඩම වූ “අපේ බේබි මහත්තයා” විය. 


එයාටත් පැය කාලක් විතර කණ්ණාඩි මේසය ලඟ හිටගෙන කතුරු ‍බ්ලේඩ් වලින් ට්‍රිම් කර ඔප දමන තේජවන්ත උඩුරැවුළක් තිබුණි....

ඉතින් හැත්තෑව හැත්තෑ එක කාලයේ ජනතා ජයග්‍රහණයේ චූන් එක අතින් අල්ලා කටේ දමා ගන්නට තරම් ඝනකමට තිබුණු එක් දවසක අප සියළු දෙනාම කොළඹ ගිය ගමනක දී, කොටුවේ බෞද්ධ මන්දිරය ඉස්සරහ ගෆූර් බිල්ඩිමේ කොරිඩෝරයේ දී ‍, “ආ... සර් කොහොම ද බොහොම කාලෙකින්” කියාගෙන බො‍හෝම ආදර බර ලෙන්ගතු කමකින් කතා බහ කල තරුණත් නැති වයසත් නැති ‘ඉලන්දාරියෙක්’ සමග ගමේ පළාතේ වගතුග කියන්නටත්, ඒ කතාව දිගට දිගට ගොස් සීනි පැණි සක්කර හකුරු ඇතිව කාලයකට ඉහත ගමේ තැපැල් කන්තෝරුවේ තැපැල් බෙදුවායි හඳුන්වා දුන් මේ අළුත් ආලවට්ටම් කාරයා එක්ක සෑහෙන කදේකට සෙට් වෙන්නටත්, අපේ තාත්තාට අවස්ථාව ලැබුණි.

මේ අළුත ජාතික ඇඳුම ඇන්ද සර්ට, ඒ වෙනකොට වරායේ නැව්වලින් බඩුබාන රස්සාවක් කල මේ අළුත් නෑදෑයා රුපියල් තුන්සීයක් වැනි නොවටිනා ගණනකට නිල් ඉර පොප්ලින් කච්චි දෙකක් විකුණන්නට තරම් සැදැහැවත් විය. අපේ ජේත්තුකාර තාත්තා, අපව එතන නවත්තා, අම්මාගේ අත්බෑගයේ තිබුණු සල්ලිත් එකතු කරගෙන මේ අමතර වාසිය හරි කර‍ගෙන එන්නට පිටත් විය.

ගණුදෙනුව සිද්ධ වන්නට තිබුණේ වයි.එම්.බී.ඒ එකේ උඩතට්ටුවක කාමරයකය. ඒකට යන දොර ලඟ මහපාරේ තාත්තාව නවත්තා ගනුදෙනු කාරයා සල්ලිත් අරගෙන ඇතුළට ගියේය. පැය බාගයක් විතර රස්තියාදු වී හෝඩුවාවක් නැති තැන පඩිපෙල නැග ඇතුලට ගිය තාත්තාට ඒ දොරෙන් ඇතුළු වී අනිත් පැත්තේ පඩිපෙල බැස එහා පාරට යන්නට තියෙන දොර පෙණුනු හැටියේම ලයිට් බල්බ් එක පත්තු විය.

එදා ආපහු ආපු තාත්තාගේ මුහුණත්, කථාකළ විලාශයත්, කළ කියූ දේවලුත්... අද ආයෙත් මතක් වුනේ අපේ ජනාධිපති තුමා ජනපතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කල වෙලේ කළ කථාව මුණු පොතේ ලින්ක් එකකින් ගිහින් යූ ටියුබ් එකේ දැකලාය....!

ඕව මොනවද හලෝ... නැට්ට එක්ක අලි මැරෙන්නෙ...!

මට මතක හැටියට නිල් ඉර පොප්ලින් ආවේත් චීනයෙනි..,!

23 දෙසැම්බර් 2014

No comments:

Post a Comment

Blogroll

About